3. 1. 2.
සතෝ සූත්රය
368. (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මහණතෙමේ සිහි ඇතිව නුවණැතිව වාසය කරන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි. මහණෙනි, කෙසේ මහණතෙම සිහි ඇත්තේවේද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙම කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ මනා නුවණැත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරන්නේය. වේදනාවන්හි වේදනාව අනුව බලන්නේ කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසයකරයිද සිතෙහි සිත අනුව බලන්නේ කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කෙරේද, ධර්මයන්හි ධර්මය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙමේ මනා නුවණැත්තේ වේද? මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ ඉදිරියට යෑමෙහි හා පෙරළා යෑමෙහි මනා නුවණින් දැන කරන්නේ වේද, ඉදිරි බැලීමෙහි හා දෙපස බැලීමෙහි මනා නුවණින් දැන කරන්නේ වේද, අත් පා දිග හැරීමෙහි හා හැකිළීමෙහි මනා නුවණින් දැන කරන්නේ වේද දෙපට සිවුර පාත්ර සිවුරු දැරීමෙහි මනා නුවණින් දැන කරන්නේ වේද, අනුභව කිරීමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද, රස විඳීමෙහිද, මනා නුවණින් දැන කරන්නේ වේද, මළ මූත්ර පහ කිරීමෙහිද මනා නුවණින් දැන කරන්නේවේද, යෑමෙහිද සිටීමෙහිද, හිඳීමෙහිද, නිදාගැනීමෙහිද, නිදිවැරීමෙහිද, කීමෙහිද, නිශ්ශබ්ද වීමෙහිද, මනා නුවණින් දැන කරන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ මනා නුවණැත්තේ වෙයි. මහණෙනි, මහණතෙම සිහි ඇතිව, මනා නුවණැතිව වාසය කරන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි.
3. 1. 3.
භික්ඛු සූත්රය
369. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විසාලා මහනුවර අම්බපාලි වනයෙහි වාසය කරන සේක. “එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාව, විවේකීව, අප්රමාදව, කෙලෙස් තවන වීර්ය්යය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නෙම්ද, (එබඳුවූ) ධර්මයක් භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් දේශනා කරන්නේ නම් මැනවි” යනුයි. “මෙපරිද්දෙන් වනාහි ඇතැම් හිස් පුරුෂයෝ මට ආරාධනා කරත්. ධර්මයද දේශනාකළ කල්හි මාම ලුහුබැඳිය යුතුයයි හඟිත්” යයි (වදාළහ.) “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ කොටින් දහම් දෙසන සේක්වා. භාග්යවතුන් වහන්සේගේ දේශනාවේ අර්ථය මම ඒකාන්තයෙන් දැනගන්නෙමි. භාග්යවතුන් වහන්සේගේ දේශනාවට මම ඒකාන්තයෙන් හිමි කාරයෙක් වන්නෙමියි” කීය.
“මහණ, එසේනම් මේ සස්නෙහි නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ මුල කවරේද? පිරිසිදු සීලයද, ඍජුවූ දෘෂ්ටියද වෙයි. “මහණ, යම් විටෙක තාගේ ශීලය පිරිසිදු වන්නේද දෘෂ්ටිය ඍජු වන්නේද; මහණ, එකල නුඹ ශීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් තුන් ආකාරයකින් වඩන්නෙහිය. ‘කවර සතරක්ද යත්? මහණ, නුඹ මෙහිලා තමාගේ කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරව. අනුන්ගේ කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. තමාගේද අනුන්ගේද කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව.