3. 1. 3.
භික්ඛු සූත්‍රය
1181. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාව, විවේකීව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නෙම්ද, (එබඳුවූ) ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දේශනා කරන්නේ නම් මැනවි” යනුයි. “මෙපරිද්දෙන් වනාහි ඇතැම් හිස් පුරුෂයෝ මට ආරාධනා කරත්. ධර්මයද දේශනාකළ කල්හි මාම ලුහුබැඳිය යුතුයයි හඟිත්” යයි (වදාළහ.) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ කොටින් දහම් දෙසන සේක්වා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අර්ථය මම ඒකාන්තයෙන් දැනගන්නෙමි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට මම ඒකාන්තයෙන් හිමි කාරයෙක් වන්නෙමියි” කීය.
“මහණ, එසේනම් මේ සස්නෙහි නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ මුල කවරේද? පිරිසිදු සීලයද, ඍජුවූ දෘෂ්ටියද වෙයි. “මහණ, යම් විටෙක තාගේ ශීලය පිරිසිදු වන්නේද දෘෂ්ටිය ඍජු වන්නේද; මහණ, එකල නුඹ ශීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් තුන් ආකාරයකින් වඩන්නෙහිය. ‘කවර සතරක්ද යත්? මහණ, නුඹ මෙහිලා තමාගේ කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරව. අනුන්ගේ කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. තමාගේද අනුන්ගේද කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව.
තමාගේ වේදනාවන්හි වේදනා අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. අනුන්ගේ වේදනාවන්හි වේදනා අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. තමාගේ ද අනුන්ගේ ද වේදනාවන්හි වේදනා අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. තමාගේ සිතෙහි සිත අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. අනුන්ගේ සිතෙහි සිත අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. තමාගේ ද අනුන්ගේ ද සිතෙහි සිත අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. තමාගේ ධර්මයන්හි ධර්ම අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. අනුන්ගේ ධර්මයන්හි ධර්ම අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. තමාගේ ද අනුන්ගේ ද ධර්මයන්හි ධර්ම අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරු කොට වාසය කරව. මහණ, යම් කලෙක නුඹ ශීලය ඇසුරු කොට ශීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ තුන් ආකාරයකින් වඩන්නෙහි ද, මහණ, එකල්හි නුඹට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේ ද, කුසල ධර්මයන්හි දියුණුවම කැමති විය යුතුය; පිරිහීමක් නොවේ.”
ඉක්බිති ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන් වී අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය. එකල්හි ඒ භික්ෂුව හුදකලාව, (පිරිසෙන්) වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍යය ඇතිව, නිවන කරා යොමු කළ සිත් ඇතිව වාසය කරන්නේ, යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම පැවිදි වෙත් ද, බ්‍රහ්මචර්යාවේ කෙළවර වූ ඒ අනුත්තර (අර්හත්වය) නොබෝ කලකින්ම තමාම විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කළේය. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිම විය. කළ යුත්ත කරන ලදී. මේ (භවය) පිණිස අනිකක් නැත’ යි දැනගත්තේය. ඒ භික්ෂුව ද රහතුන් වහන්සේලා අතරෙන් එක් කෙනෙක් වූහ.
3. 1. 4.
සාලා සූත්‍රය
1182. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලා නම් බ්‍රාහ්මණ ගමෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මෙසේ වදාළහ. “මහණෙනි, අලුත පැවිදිවූ අලුත මේ ශාසනයට ඇතුළත්වූ යම් ඒ නවක භික්ෂූහු වෙත්ද, මහණෙනි, තෙපි ඔවුන් සතර සතිපට්ඨානයන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුය. එහි ඇතුළත් කරවිය යුතුය. පිහිටුවිය යුතුය. [2] “කවර සතරක්ද යත්? ඇවැත්නි, තෙපි එව්, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ඇති සැටියෙන් කය අවබෝධ කරනු පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව්. “කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරව්. “කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව්. “කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව්.