2. 5. 10.
10. දුතිය අංග සූත්රය
“මහණෙනි, බාහිර අංගයක් වශයෙන් සප්ත බොධ්යාංගයන් ඉපදීම පිණිස මේ කල්යාණ මිත්රයන් ඇතිබව යම්සේද? එබඳුවූ අන් එකම අංගයක් නුවණැසින් මම නොදකිමි. මහණෙනි, සප්ත බොධ්යාංගයන් වඩන්නේය. සප්ත බොධ්යාංගයන් බහුල කරන්නේය යන මෙය කල්යාණ මිත්රයන් ඇති භික්ෂුවටම කැමති විය යුතුය. මහණෙනි කෙසේ නම් කල්යාණ මිත්රයන් ඇති භික්ෂුතෙම සප්ත බොධ්යාංගයන් වඩන්නේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සතිසම්බොජ්ඣාංගය වඩයි. ... පෙ ... විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොධ්යංගය වඩයි. “මහණෙනි, මෙසේ වනාහි කල්යාණ මිත්රයන් ඇති මහණතෙම සත් බොධ්යාංගයන් වඩයි. බහුල කෙරේයයි” වදාළසේක.
පස්වෙනි චක්රවර්ති වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
විධා, චක්කවත්ති, මාර, දුප්පඤ්ඤ, පඤ්ඤව, දළිද්ද, අදළිද්ද, ආදිච්ච සහ අංග සූත්ර දෙකයි.
6. බොජ්ඣංග වර්ගය
2. 6. 1.
ආහාර සූත්රය
597. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, මම නුඹලාට පඤ්ච නීවරණයන්ගේද සප්ත බොධ්යංගයන්ගේද ආහාරයද (හේතුවද) අනාහාරයද (හේතුවනොවන්නද) දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිසද, මහත් බව පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සුභ වශයෙන් ගන්නා අරමුණක් ඇත. ඒ සුභාරම්මණයෙහි බහුල කොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද, මෙය නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි.
මහණෙනි, නූපන්නාවූ ව්යාපාදයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ ව්යාපාදයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද පවත්නා ආහාරය කවරේද? “මහණෙනි, ක්රෝධය උපදින අරමුණක් ඇත. මහණෙනි, ඒ ක්රෝධ (පටිඝ) නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමක් වේද, මෙය නූපන්නාවූ ක්රෝධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ක්රෝධයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල බව මහත් බව පිණිසද පවත්නා ආහාරය කවරේද? මහණෙනි, කුශලයෙහි නොඇල්මද, අලස ගතියද, ඇඟමැලි කැඩීමද, බත් මතද සිතේ හැකුළුනු බවද ඇත. එහි බහුලකොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ථිනමිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථිනමිද්ධයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය කවරේද? මහණෙනි, සිතේ නොසන්සුන් බවක් ඇත. එහි බහුලකොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ උද්ධච්චකුක්කුච්ච නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්චකුක්කුච්ච නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විචිකිච්ඡාවගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡාවගේ බහුල බව මහත් බව පිණිසද ආහාරය කවරේද? මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ ධර්මයෝ ඇත. එහි බහුලව නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විචිකිච්ඡාවගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡාවගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.