2. 5. 1.
1. විධා සූත්‍රය
“මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වූවාහුද, (ඔව්හු) තුන්වැදෑරුම් මානය දුරුකළාහුය. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්‍යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වෙත්ද (ඔවුහු) තෙවැදෑරුම් මානය දුරුකරන්නාහ. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්‍යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි. මහණෙනි, දැන් යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්ද, (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරු කරත්. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්‍යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වූවාහුද (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරුකළාහුය. ඒ, එම සියල්ලෝම මේ බොධ්‍යංගයන් සත්දෙන වඩන ලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි. අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වෙත්ද, (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරු කරන්නාහ. ඒ, එම සියල්ලෝම මේ බොධ්‍යංගයන් සත්දෙන වඩනලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි. මේ කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වෙත්ද, (ඔව්හු) තෙවදෑරුම් මානය දුරුකෙරෙත්. ඒ, එම සියල්ලෝම මේ සප්ත බොජ්ඣංගයන් වඩන ලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි’යි වදාළ සේක.
2. 5. 2.
2. චක්කවත්ති සූත්‍රය
“මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් සප්ත රත්නයන්ගේ පහළවීම වෙයි. කවර සප්තරත්නයක්හුගේද? චක්‍රරත්නයාගේ පහළවීම වෙයි. හස්ති රත්නයාගේ පහළවීම වෙයි. අශ්වරත්නයාගේ පහළවීම වෙයි. මාණික්‍ය රත්නයාගේ පහළවීම වෙයි. ස්ත්‍රී රත්නයාගේ පහළවීම වෙයි. ගෘහපති රත්නයාගේ පහළවීම වෙයි. පරිනායක (පුත්‍ර) රත්නයාගේ පහළවීම වෙයි. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් මේ සප්ත රත්නයාගේ පහලවීම වෙයි. “මහණෙනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් සත් වැදෑරුම් බොධ්‍යංග රත්නයන්ගේ පහළවීම වෙයි. කවර සතක්හුගේද යත්, සති සම්බොධ්‍යංග රත්නයාගේ පහලවීම වෙයි. ධම්ම විචය සම්බොජ්ඣංග රත්නයාගේ පහළවීම වෙයි. වීර්ය සම්බොධ්‍යංග රත්නයාගේ පහළවීමවෙයි. ප්‍රීති සම්බොධ්‍යංග රත්නයාගේ පහළවීමවෙයි. පස්සද්ධි සම්බොධ්‍යංග රත්නයාගේ පහළවීම වෙයි. සමාධි සම්බොජ්ඣංග රත්නයාගේ පහළවීම වෙයි. උපෙක්ඛා සම්බොධ්‍යංගරත්නයාගේ පහළවීම වෙයි. මහණෙනි, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සත් බොධ්‍යංගරත්නයාගේ පහළවීම වේයයි” වදාළේය.
2. 5. 3.
3. මාර සූත්‍රය
“මහණෙනි, මම නුඹලාට මරසෙනග මඩින මාර්ගය කියන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, මරසෙනග මඩින මාර්ගය කවරේද? යම් මේ සප්ත බොධ්‍යංග කෙනෙක් වෙත්ද? (ඔව්හුය.) කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණෙනි, මේ මරසෙනග මඩින මාර්ගයයි” වදාළ සේක.
2. 5. 4.
4. දුප්පඤ්ඤ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, කෙලතොළු මෝඩයා, කෙලතොළු මෝඩයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේද?” “මහණෙනි, සප්තබොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත පුරුදු නොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ බොධ්‍යාංග සත්දෙනා නොවඩනලද බැවින් නැවත නැවත පුරුදුනොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි” කියනු ලැබේ.
2. 5. 5.
5. පඤ්ඤව සූත්‍රය
“ස්වාමීනි, කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයා, නුවණැති පුද්ගලයා යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයා යයි කියනුලැබේද?” “මහණ, සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදු කරන ලද බැවින් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයායි” කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ බොධ්‍යංග සත්දෙනා වැඩීමෙන් නැවත නැවත පුරුදු කිරීමෙන් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයායයි” කියනු ලැබේ.
2. 5. 6.
6. දළිද්ද සූත්‍රය
“ස්වාමීනි, දිළින්දා, දිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් දිළින්දායයි කියනුලැබේද?” “මහණ, සප්ත සම්බොධ්‍යංගයන් නොවඩනලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනුලැබේ යයි” වදාළ සේක.
2. 5. 7.
7. අදළිද්ද සූත්‍රය
“ස්වාමීනි, නොදිළින්දා, නොදිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් නොදිළින්දා යයි කියනු ලැබේද?” “මහණ, සප්ත බොධ්‍යංගයන් වඩනලද බැවින් නැවත නැවත පුරුදු කරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.” කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදුකරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.