2. 4. 5.
5. යෝනිසෝ සූත්‍රය
216. “මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය උපදියි. උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුලබව පිණිස මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ ව්‍යාපාදය (ක්‍රෝධය) උපදියි. උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල බව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ ථිනමිද්ධය උපදියි. උපන්නාවූ ථිනමිද්ධයාගේ බහුලබව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය උපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුලබව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ විචිකිච්ඡාව උපදියි. උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල බව පිණිස, මහත් බව පිණිස පවතියි.
“මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ සති සම්බොජ්ඣංගය උපදවයි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ විරියසම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේයයි” වදාළසේක.
2. 4. 6.
6. බුද්ධි සූත්‍රය
217. “මහණෙනි, වඩනලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ මේ බොජ්ඣංග සත දියුණුව පිණිස නොපිරිහීම පිණිස පවතිත්. ඒ සත කවරේද යත්? “සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගය යන සතය. මහණෙනි, වඩන ලද පුරුදු කරන ලද මේ සප්ත බොජ්ඣංගයෝ දියුණුව පිණිස, නොපිරිහීම පිණිස පවතිත් යයි” වදාළසේක.
2. 4. 7.
7. ආවරණ සූත්‍රය
218. “මහණෙනි, කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, සිත කෙලෙසන්නාවූ, නුවණ දුර්වල කරන්නාවූ, ධර්මයෝ පසක්වෙත්. ඒ පස කවරේදයත්, මහණෙනි, කාමච්ඡන්දය කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ සිත කෙළසන්නාවූ නුවණ දුර්වල කරන්නාවූ ධර්මයකි. ව්‍යාපාදය කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ සිත කෙළසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, ධර්මයකි. “මහණෙනි, ථිනමිද්ධය කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, සිත කෙළසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ ධර්මයකි. “මහණෙනි; උද්ධච්චකුක්කුච්චය කුසල් ආවරණය කරන්නා වූ කුසල් වසන්නාවූ සිත කෙලසන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නා වූ ධර්මයකි. “මහණෙනි, විචිකිච්ඡාව කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, සිත කෙලසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ ධර්මයකි. මහණෙනි, මොව්හු පස්දෙන කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ ධර්මයෝ වෙති.
2. 4. 8.
8. අනීවරණ සූත්‍රය
219. “මහණෙනි, ආර්යශ්‍රාවක තෙමේ යම් කලෙක අර්ථයෙන් යුක්තව මෙනෙහිකොට මුළු සිත යොමුකොට කන්යොමා ධර්මය අසයිද, එකල ඔහුට පඤ්ච නීවරණයෝ නොවෙත්. එකල්හි සප්ත සම්බොජ්ඣංගයෝ වැඩීමෙන් සම්පූර්ණ වීමට පැමිණෙත්. ඔහුට එකල්හි කවර පඤ්ච නීවරණ කෙනෙක් නොවෙත්ද? කාමච්ඡන්ද නීවරණය එකල්හි නැත. ව්‍යාපාද නීවරණය එකල්හි නැත. ථින මිද්ධ නීවරණය එකල්හි නැත. උද්ධච්චකුක්කුච්ච නීවරණය එකල්හි නැත. විචිකිච්ඡා නීවරණය එකල්හි නැත. මේ පඤ්ච නීවරණයෝ එකල්හි නොවෙත්.
“කවර සප්ත බොධ්‍යංග කෙනෙක් වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙද්ද? සති සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. ධම්මවිචය සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. විරිය සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. පීති සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. පස්සද්ධි සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. සමාධි සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. “මහණෙනි, ආර්යශ්‍රාවකතෙම යම් කලෙක අර්ථයෙන් යුක්තව මෙනෙහිකොට මුළු සිත යොමුකොට කන් යොමා ධර්මය අසයිද, ඔහුට එකල්හි මේ පඤ්ච නීවරණයෝ ඇති නොවෙත්. එකල්හි මේ සප්ත බොධ්‍යංගයෝ වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙත්.