2. 4. 3.
3. කිලේස සූත්රය
214. “මහණෙනි, යම් කෙළෙසීමකින් කිලිටුවූ ස්වර්ණය මෘදුනොවේද, කටයුත්තට යෝග්ය නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, පහසුවෙන් වැඩකළ නොහැකිද එවැනි කිලුටු පසක් ස්වර්ණයට (රන්වලට) ඇත්තේය. ඒ පස කවරේදයත්? මහණෙනි, යකඩ ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි. කර්මණ්යද නොවෙයි. බැබලීම නැත. බිඳෙන සුලුය. වැඩ කිරීමට පහසු නොවෙයි. මහණෙනි, ලෝහය ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවෙයි. මහණෙනි, සුදු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදු නොවෙයි. බැබලීමක් නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නැත. මහණෙනි, කලු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි. කර්මණ්යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය. වැඩට පහසු නැත. මහණෙනි රිදී ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවේ. මහණෙනි, මෙම පස ස්වර්ණයාගේ උපක්ලෙශයෝය. මේ පසින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවේද, කර්මණ්යද නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, වැඩට නොපහසුද,
මහණෙනි, එපරිද්දෙන් යම් කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත මෘදුද නොවේද, කර්මණ්ය නොවේද, පිරිසිදු නොවේද, අරමුණෙහි සුණුවිසුණු වන හෙයින් බිඳෙන සුලුද, ආශ්රවයන් නැතිකිරීම පිණිස මනාකොට සිත එකඟ නොවේද එවැනි සිත කිලුටු කරන්නාවූ ධර්මයෝ මේ පසකි. ඒ පස කවරේදයත්? “මහණෙනි, කාමච්ඡන්දය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, ව්යාපාදය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, කයේ හා සිතේ අලස ගතිය (ථිනමිද්ධය) සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, සිතේ නොසන්සුන් ගතිය හා පසුතැවීම් (උද්ධච්චකුක්කුච්චය) සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, බුද්ධාදී අට තැන්හි සැකය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, මේ පස වනාහි චිත්තයාගේ උපක්ලෙශයෝය. ඒ උපක්ලෙශයන්ගෙන් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙන සුලුය, ආශ්රවයන්ගේ නැතිකිරීම පිණිස මනා කොට සිත එකඟ නොවේයයි” වදාළසේක.
2. 4. 4.
4. අනාවරණ සූත්රය
215. “මහණෙනි කුසල ධර්මයන් ආවරණය නොකරන්නාවූ කුසල ධර්මයන් නොවසන්නාවූ, සිත කිලිටු නොකරන්නාවූ, වඩන ලද්දාවූ, නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවත්නාවූ බොජ්ඣංග ධර්ම සතක් වෙත්. ඒ සත කවරේද යත්? “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ සති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ විරිය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ පීති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ සමාධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ මේ බොධ්යංග ධර්ම සත අර්හත් මාර්ගඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්යයි” වදාළසේක.
2. 4. 5.
5. යෝනිසෝ සූත්රය
216. “මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය උපදියි. උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුලබව පිණිස මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ ව්යාපාදය (ක්රෝධය) උපදියි. උපන්නාවූ ව්යාපාදයාගේ බහුල බව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ ථිනමිද්ධය උපදියි. උපන්නාවූ ථිනමිද්ධයාගේ බහුලබව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය උපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුලබව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ විචිකිච්ඡාව උපදියි. උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල බව පිණිස, මහත් බව පිණිස පවතියි.
“මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ සති සම්බොජ්ඣංගය උපදවයි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ විරියසම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේයයි” වදාළසේක.
2. 4. 6.
6. බුද්ධි සූත්රය
217. “මහණෙනි, වඩනලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ මේ බොජ්ඣංග සත දියුණුව පිණිස නොපිරිහීම පිණිස පවතිත්. ඒ සත කවරේද යත්? “සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගය යන සතය. මහණෙනි, වඩන ලද පුරුදු කරන ලද මේ සප්ත බොජ්ඣංගයෝ දියුණුව පිණිස, නොපිරිහීම පිණිස පවතිත් යයි” වදාළසේක.