2. 4. 1.
1. කුසල සූත්‍රය
212. [1] මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. [2] “මහණෙනි, කුසල කොට්ඨාසයට අයත්වූ කුසල පාක්ෂිකවූ යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදය හැසිරීම කොට ඇත්තාහ. අප්‍රමාදය ඒ ධර්මයන්ට ප්‍රධානයයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදවූ භික්ෂුව සප්තබොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය යන මෙය කැමතිවිය යුතුය. මහණෙනි, අප්‍රමාදවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩයිද? නැවත නැවත පුරුදු කරයිද? [3] “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, [4] “මහණෙනි, මෙසේ වනාහි අප්‍රමාදවූ මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කෙරේයයි” වදාළසේක.
2. 4. 2.
2. දුතිය කුසල සූත්‍රය
213. (මේ වර්ගයේ සූත්‍ර සියල්ලම පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.) “මහණෙනි, කුසල කොට්ඨාශයෙහිවූ, කුසල පාක්ෂිකවූ යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ල නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇත්තාහ. නුවණින් මෙනෙහි කිරීම හැසිරීම්කොට ඇත්තාහ. නුවණින් මෙනෙහි කිරීම ඒ ධර්මයන්ට ප්‍රධානයයි කියනු ලැබේ. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය යන මේ කාරණය කැමතිවිය යුතුය. නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩන්නේද? සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම සප්ත බොජ්ඣංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය.”
2. 4. 3.
3. කිලේස සූත්‍රය
214. “මහණෙනි, යම් කෙළෙසීමකින් කිලිටුවූ ස්වර්ණය මෘදුනොවේද, කටයුත්තට යෝග්‍ය නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, පහසුවෙන් වැඩකළ නොහැකිද එවැනි කිලුටු පසක් ස්වර්ණයට (රන්වලට) ඇත්තේය. ඒ පස කවරේදයත්? මහණෙනි, යකඩ ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි. කර්මණ්‍යද නොවෙයි. බැබලීම නැත. බිඳෙන සුලුය. වැඩ කිරීමට පහසු නොවෙයි. මහණෙනි, ලෝහය ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවෙයි. මහණෙනි, සුදු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදු නොවෙයි. බැබලීමක් නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නැත. මහණෙනි, කලු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි. කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය. වැඩට පහසු නැත. මහණෙනි රිදී ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවේ. මහණෙනි, මෙම පස ස්වර්ණයාගේ උපක්ලෙශයෝය. මේ පසින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවේද, කර්මණ්‍යද නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, වැඩට නොපහසුද,
මහණෙනි, එපරිද්දෙන් යම් කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත මෘදුද නොවේද, කර්මණ්‍ය නොවේද, පිරිසිදු නොවේද, අරමුණෙහි සුණුවිසුණු වන හෙයින් බිඳෙන සුලුද, ආශ්‍රවයන් නැතිකිරීම පිණිස මනාකොට සිත එකඟ නොවේද එවැනි සිත කිලුටු කරන්නාවූ ධර්මයෝ මේ පසකි. ඒ පස කවරේදයත්? “මහණෙනි, කාමච්ඡන්දය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, ව්‍යාපාදය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, කයේ හා සිතේ අලස ගතිය (ථිනමිද්ධය) සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, සිතේ නොසන්සුන් ගතිය හා පසුතැවීම් (උද්ධච්චකුක්කුච්චය) සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, බුද්ධාදී අට තැන්හි සැකය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි. “මහණෙනි, මේ පස වනාහි චිත්තයාගේ උපක්ලෙශයෝය. ඒ උපක්ලෙශයන්ගෙන් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙන සුලුය, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස මනා කොට සිත එකඟ නොවේයයි” වදාළසේක.