2. 2. 2.
සූරිය සූත්රය
558. “මහණෙනි, යම් මේ අරුණෝද්ගමණයක් වේද, එය උදාවන සූර්යයාට පූර්වාංගම වෙයි. පූර්වනිමිත්ත වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුවගේ යම් ඒ කල්යාණ මිත්රයන් ඇති බවක් වේද එය සප්ත බොධ්යංගයන්ගේ ඉපදීමට පූර්වංගම වෙයි, පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, කල්යාණ මිත්රයන් ඇති භික්ෂුව තමා සප්ත බොධ්යංගයන් වඩන්නේය. සප්ත බොධ්යංගයන් බහුල කරන්නේය යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, කෙසේ නම් කල්යාණ මිත්රයන් ඇති මහණතෙමේ සප්ත බොධ්යංගයන් වඩයිද, සප්ත බොධ්යංගයන් බහුල කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සතිසම්බොජ්ඣංගය වඩයි -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු උපෙක්ඛාසම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ වනාහි කල්යාණ මිත්රයන් ඇති මහණතෙමේ සප්ත බොධ්යංගයන් වඩයි, සප්ත බොධ්යංගයන් බහුල කරන්නේය.”
2. 2. 3.
දුතිය සුරිය සූත්රය
559. “මහණෙනි, යම් මේ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමය, පූර්ව නිමිත්තය. මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුවගේ යම් මේ නුවණින් මෙනෙහි කිරීමක්වේද, එය සප්තබොධ්යංගයන් ඉපදීම පිණිස පූර්වංගමය, පූර්වනිමිත්තය. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව තමා සප්ත බොධ්යංගයන් වඩන්නේය. සප්තබොධ්යංගයන් බහුල කරන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ මහණතෙම කෙසේ සප්ත බොධ්යංගයන් වඩයිද? සප්තබොධ්යංගයන් බහුල කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සතිසම්බොජ්ඣංගය වඩයි -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු උපෙක්ඛාසම්බොජ්ඣංගය වඩයි. මහණෙනි මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙමේ සප්ත බොධ්යංගයන් වඩයි. සප්තබොධ්යංගයන් බහුල කරන්නේ යයි.”
2. 2. 4.
ගිලාන සූත්රය
560. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ලෙඩින් පෙළුනේ, දුකට පැමිණියේ දැඩි ගිලන්වූයේ පිප්ඵලි ගුහාවෙහි වැඩ වාසය කරන්නාහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණිසේක. පැමිණ පනවනලද අස්නෙහි වැඩහුන්හ. හිඳ වනාහි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට මේ කාරණය වදාළසේක: “කච්චි තෙ කස්සප, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා? පටික්කමන්ති නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති? (කිමෙක්ද? කස්සප ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක් වේදනාවෝ පිරිහෙත්ද? අඩුවෙත්ද? කිම දියුණු නොවෙත්ද? ඒ දුක් වේදනාවන්ගේ කෙළවරක් නොපෙනෙත්දැයි?)” “ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, සතර ඉරියව්වෙහි සිරුර පැවැත්විය නොහැකිය. මාගේ දුක් වේදනාවෝ බලවත්හ, වැඩෙන්නාහ. දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි. අඩුවක් නොපෙනෙයි.”
“කාශ්යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල වශයෙන් කරන ලද, මේ සත්වැදෑරුම් බොධ්යංග ධර්මයෝ චතුස්සත්ය අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සප්තබොධ්යංගයෝ කවරහුදයත්? කාශ්යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සති සම්බොජ්ඣංගය චතුස්සත්යයන් දැනගැනීම පිණිසද, චතුස්සත්යයන් අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද ධර්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්යයන් දැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද විරිය සම්බොජ්ඣංගය සතර චතුස්සත්යයන් දැනගැනීම පිණිසද, අවබෝධ පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද පීති සම්බොජ්ඣංගය චතුස්සත්යය දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්යපය මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල වශයෙන් කරන ලද පස්සද්ධි සම්බොජ්ඣංගය චතුස්සත්ය දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සමාධි සම්බොජ්ඣංගය චතුස්සත්යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද උපෙක්ඛා සම්බොජ්ඣංගය චතුස්සත්යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්යපය, මේ මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සප්ත බෝධ්යංගයෝ චතුස්සත්යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත් යයි”
“භාග්යවතුන් වහන්ස, බොජ්ඣංග ධර්මයෝ මැනව, සුගතයන් වහන්ස, බොජ්ඣංග ධර්මයෝ ඒකාන්තයෙන් මැනවැයි.”
භාග්යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගීසිටියහ. ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේගේ ඒ ආබාධය එසේ පහව ගියේය.