2. 1. 9.
උප්පාද සූත්‍රය
555. “මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන්නාවූ මේ සප්ත බොජ්ඣංගයෝ අර්හත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් හැර අන් කාලයක නොඋපදිත්. ඒ සත කවරේද? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචයසම්බොජ්ඣංගය, විරියසම්බොජ්ඣංගය, පීතිසම්බොජ්ඣංගය, පස්සද්ධිසම්බොජ්ඣංගය, සමාධිසම්බොජ්ඣංගය, උපෙක්ඛාසම්බොජ්ඣංගය යනුයි. “මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සප්ත සම්බොජ්ඣංගයෝ අර්හත්, සම්මා සම්බුදු, තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් හැර අන්කාලයක නොඋපදිත්යයි” වදාළසේක.
2. 1. 10.
දුතිය උප්පාද සූත්‍රය
556. “මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සප්ත සම්බොජ්ඣංගයෝ සුගතයන් වහන්සේගේ ශාසනය හැර අන්තැනක නොඋපදිත්. ඒ සත කවරේද? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචයසම්බොජ්ඣංගය, විරියසම්බොජ්ඣංගය, පීතිසම්බොජ්ඣංගය, පස්සද්ධිසම්බොජ්ඣංගය, සමාධිසම්බොජ්ඣංගය, උපෙක්ඛාසම්බොජ්ඣංගය යනුයි. “මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සප්ත බොජ්ඣංගයෝ සුගතයන් වහන්සේගේ ශාසනය හැර අන්තැනක නූපදිත්යයි’ වදාළසේක.
පළමුවැනි පර්වතවර්ගය නිමි.
එහි උද්දානය:
හිමවන්ත, කාය, සීල, වත්‍ථ, භික්ඛු, කුණ්ඩලිය, කූටාගාර, උපවාන සහ උප්පාද සූත්‍ර දෙකයි.
2. ගිලාන වර්ගය
2. 2. 1.
පාණ සූත්‍රය
557. “මහණෙනි, යම්කිසි සත්වකෙනෙක් විවේක යෑමද, විවේක සිටීමද, විවේක හිඳීමද, විවේක සයනයද යන සතර ඉරියව් පවත්වත්ද ඒ සියලු සත්වයෝම යම්සේ පොළොව නිසා, පොළොවෙහි පිහිටාම ඒ සතර ඉරියව් පවත්වත්ද මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් බහුල කරයි. මහණෙනි, කෙසේනම් මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්ත බොධ්‍යංගයන් බහුල කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මේ මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වනාහී මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් බහුල කරයි.”
2. 2. 2.
සූරිය සූත්‍රය
558. “මහණෙනි, යම් මේ අරුණෝද්ගමණයක් වේද, එය උදාවන සූර්යයාට පූර්වාංගම වෙයි. පූර්වනිමිත්ත වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුවගේ යම් ඒ කල්‍යාණ මිත්‍රයන් ඇති බවක් වේද එය සප්ත බොධ්‍යංගයන්ගේ ඉපදීමට පූර්වංගම වෙයි, පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුව තමා සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් බහුල කරන්නේය යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, කෙසේ නම් කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයිද, සප්ත බොධ්‍යංගයන් බහුල කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සතිසම්බොජ්ඣංගය වඩයි -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු උපෙක්ඛාසම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි, සප්ත බොධ්‍යංගයන් බහුල කරන්නේය.”
2. 2. 3.
දුතිය සුරිය සූත්‍රය
559. “මහණෙනි, යම් මේ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමය, පූර්ව නිමිත්තය. මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුවගේ යම් මේ නුවණින් මෙනෙහි කිරීමක්වේද, එය සප්තබොධ්‍යංගයන් ඉපදීම පිණිස පූර්වංගමය, පූර්වනිමිත්තය. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව තමා සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්තබොධ්‍යංගයන් බහුල කරන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්තබොධ්‍යංගයන් බහුල කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සතිසම්බොජ්ඣංගය වඩයි -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු උපෙක්ඛාසම්බොජ්ඣංගය වඩයි. මහණෙනි මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්තබොධ්‍යංගයන් බහුල කරන්නේ යයි.”