2. 1. 5.
භික්ෂු සූත්‍රය
551. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, බොජ්ඣංගයෝ, බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්. ස්වාමීනි, කොපමණකින් වනාහි බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්ද? “මහණ, නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින නිසා බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,
ඒ සප්ත බොජ්ඣංගයන් වඩන්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. භවාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන ඤාණය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. මෙයින් මතු අනිත් කළයුත්තක් නැතැයි දැනගනියි. මහණ, නිර්වාණය අවබෝධ කිරීමට හේතුවන නිසා බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත් යයි” වදාළසේක.
2. 1. 6.
කුණ්ඩලිය සූත්‍රය
552. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර මිගදාය සමීපයෙහි වූ අඤ්ජන වනයෙහි වාසය කරනසේක. ඉක්බිති කුණ්ඩලික නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවිය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමකර, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ කුණ්ඩලික පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ආරාම නිසා වාසයකරමින් පිරිස්වල හැසිරෙන්නෙක්වෙමි. භවත් ගෞතමයන් වහන්ස දවල් ආහාර අනුභව කළාවූ, මාගේ සවස් කාලයෙහි මේ හැසිරීම වෙයි. ආරාමයෙන් ආරාමයට, උයනින් උයනට, ගමන් කරමි. ඒ මම එහිදී වාදයන්ගෙන් ජයගැනීම ආනිසංස කොට ඇත්තාවූද, වාදයන්ට දොස්කීම ආනිසංස කොට ඇත්තාවූද, කථා කථා කරන්නාවූ සමහර මහණ බමුණන් දකිමි. භවත් ගෞතමයන්වහන්සේ කුමක් ආනිසංස කොට වාසය කරනසේක්ද? “කුණ්ඩලිය, තථාගතතෙමේ විජ්ජා විමුක්ති ඵලය (අර්හත් මාර්ග ඵලය) ආනිසංසකොට වාසය කරන්නේයයි” වදාළසේක. “භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ කිනම් ධර්මයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්ද?” “කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, සප්ත බොජ්ඣංගයෝ වනාහි විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්.’
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, කිනම් ධර්මයෝ සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද? “කුණ්ඩලිය, වඩන ලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ වනාහි සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, කිනම් ධර්මයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්ද?” “කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, ත්‍රිවිධ සුචරිතයෝ වනාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ කිනම් ධර්මයෝ ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණ කෙරෙත්ද?” “කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ ඉන්ද්‍රියසංවරය ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණකෙරේ.
කුණ්ඩලිය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදුකරන ලද්දාවූ ඉන්ද්‍රිය සංවරය වනාහි ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණ කෙරෙත්ද? කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇතිනොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ, සිත මනාකොට මිදුනේවෙයිද, ඇසින්ම අමනාප රූපයක් දැක, මකු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.