12. 5. 9.
පඨම සිනෙරුසක්ඛරොපම සූත්රය
3891. “මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුංඇට සතක් පමණවූ ගල්කැටයක් මහාමේරු පර්වතයාගේ සමීපයෙහි තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මුංඇට සතක් පමණවූ ඒ ගල්කැටයක් මහාමේරු පර්වතයත් යන දෙකින් කුමක් මහත් වන්නේද?” ‘ස්වාමීනි, ඒ මහාමේරු පර්වතයම ඉතා මහත් වන්නේය. මුංඇට සතක් පමණවූ ගල ඉතා කුඩාය. ඒ තබනලද මුංඇට සතක් පමණවූ ගල්කැටය මහාමේරු පර්වතය හා සසඳන කල ගණනකට නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දැනගනියිද මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දැනගනියිද, මේ දුක නැතිකිරීම යයි තත්වූපරිදි දැනගනියිද, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිදි දැනගනියිද, චතුස්සත්ය අවබෝධ කළාවූ සෝවාන්වූ ඒ ආර්ය්ය පුද්ගලයා විසින් ක්ෂය කරනලද කෙළවර කරනලද දුකම අතිශයින් විශාලය. ක්ෂය කරනලද, කෙළවර කරනලද පළමු දුඃඛ ස්කන්ධය හා සසඳනකල භව සතකට සීමාවූ ඒ ඉතිරිව පවත්නාවූ දුක ගණනටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. එහෙයින් මහණෙනි, ‘මේ දුක’ යයි වීර්යය කටයුතුයි... ‘මේ දුක නිරෝධගාමිනී ප්රතිපදාව’ යයි වීර්යය කටයුතුයි.”
12. 5. 10.
දුතිය සිනෙරුසක්ඛරොපම සූත්රය
3892. “මහණෙනි, මුං සතක් පමණවූ ගල්කැටය තිබියදී මහාමේරු පර්වතය ක්ෂයවීමට කෙළවර වීමට යන්නේනම් මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ, කෙළවරවූ, ඒ මහාමේරු පර්වතය මහත්ද, ඉතිරිවූ මුංඇට සතක් පමණවූ ගල මහත්ද? “ස්වාමීනි, ඒ ක්ෂයකළ කෙළවර කළ මහාමේරු පර්වතයම ඉතා මහත්ය. ඉතිරිවූ මුංඇට සතක් පමණවූ ගල ඉතා ස්වල්පය. ක්ෂය කළ කෙළවර කළ මහාමේරු පර්වතය හා සමකරන කල මුංඇට සතක් පමණවූ ගල ගණනකටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනීද මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මේ දුක නැති කිරීමේ මගයයි තත්වූපරිදි දනීද චතුස්සත්යය අවබෝධ කළාවූ සෝවාන් ආර්ය්යශ්රාවකයා විසින් ක්ෂයකරනලද කෙළවර කරනලද දුකම අතිශයින් විශාලය. ක්ෂයකරන ලද, කෙළවර කරන ලද පළමු දුඃස්කන්ධය හා සසඳන කල සත් සත්භාවයකට සීමාවූ ඉතිරිවූ දුක ගණනකටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. එහෙයින් මහණෙනි, ‘මේ දුක’ යයි වීර්යය කටයුතුයි... ‘මේ දුක නිරෝධගාමිනී ප්රතිපදාව’ යයි වීර්යය කටයුතුයි.”
පපාතවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
චින්තා, පපාත, පරිළාහ, කූට, වාද, අන්ධකාර, ඡිග්ගල දෙකක් හා සිනෙරු සූත්ර දෙකක් යැයි මෙහි සූත්ර දසයකි.