12. 5. 10.
දුතිය සිනෙරුසක්ඛරොපම සූත්රය
3892. “මහණෙනි, මුං සතක් පමණවූ ගල්කැටය තිබියදී මහාමේරු පර්වතය ක්ෂයවීමට කෙළවර වීමට යන්නේනම් මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ, කෙළවරවූ, ඒ මහාමේරු පර්වතය මහත්ද, ඉතිරිවූ මුංඇට සතක් පමණවූ ගල මහත්ද? “ස්වාමීනි, ඒ ක්ෂයකළ කෙළවර කළ මහාමේරු පර්වතයම ඉතා මහත්ය. ඉතිරිවූ මුංඇට සතක් පමණවූ ගල ඉතා ස්වල්පය. ක්ෂය කළ කෙළවර කළ මහාමේරු පර්වතය හා සමකරන කල මුංඇට සතක් පමණවූ ගල ගණනකටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනීද මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මේ දුක නැති කිරීමේ මගයයි තත්වූපරිදි දනීද චතුස්සත්යය අවබෝධ කළාවූ සෝවාන් ආර්ය්යශ්රාවකයා විසින් ක්ෂයකරනලද කෙළවර කරනලද දුකම අතිශයින් විශාලය. ක්ෂයකරන ලද, කෙළවර කරන ලද පළමු දුඃස්කන්ධය හා සසඳන කල සත් සත්භාවයකට සීමාවූ ඉතිරිවූ දුක ගණනකටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. එහෙයින් මහණෙනි, ‘මේ දුක’ යයි වීර්යය කටයුතුයි... ‘මේ දුක නිරෝධගාමිනී ප්රතිපදාව’ යයි වීර්යය කටයුතුයි.”
පපාතවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
චින්තා, පපාත, පරිළාහ, කූට, වාද, අන්ධකාර, ඡිග්ගල දෙකක් හා සිනෙරු සූත්ර දෙකක් යැයි මෙහි සූත්ර දසයකි.
6. අභි සමය වර්ගය
12. 6. 1.
1. නඛ සිඛොපම සූත්රය
1121. එකල්හි භාග්යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි. “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.” “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්ය්ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
12. 6. 2.
2. පොක්ඛරණොපම සූත්රය
1122. “මහණෙනි, පණස් යොදුනක් දික්වූ පණස් යොදුනක් පලල්වූ පණස් යොදුනක් ගැඹුරුවූ කවුඩන් විසින් බිය හැකිසේ මුවවිට දක්වා පිරුණු පොකුණක් වෙයි, පුරුෂයෙක් එයින් කුසතණ අගින් වතුර ගන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, කුසතණ අගින් යම් ජලයක් වේනම් එයත් පොකුණෙහි, තිබෙන යම් ජලයක් වේනම් එයත් යන දෙකින් කුමක නම් අතිශයින් බොහෝ වේද? “ස්වාමීනි, පොකුණෙහි යම් ඒ ජලයක් වේද එයම අතිශයින් බොහෝ වෙයි, කුසතණ අගින් ගත් ජලය ඉතා ස්වල්පවෙත්, පොකුණෙහි ජලය හා සමාන කරන කල්හි කුස තණ අගින් ගත් ජලය ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්ය්ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
12. 6. 3.
3. පඨම සම්භෙජ්ජොදක සූත්රය
1123. ‘මහණෙනි, යම් තැනෙක්හි ගංගා යමුනා අචිරවති සරභූ මහී යන මේ පඤ්ච මහා ගංගාවෝ එකට එක්වෙත්ද පුරුෂයෙක් එතැනින් වතුර බින්දු දෙකක් හෝ තුනක් හෝ ගන්නේය. මහණෙනි, හේ කුමැකැයි සිතන්නහුද? ගත් දිය බිංදු දෙක තුනත් ඒ පඤ්ච මහා ගංගා එක්වන තැන ජලය යන දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?” “ස්වාමීනි, යම් ඒ ගංගා එක්වන තැන පවත්නා ජලයක් වේද එයම අතිශයින් බොහෝ වෙත්. පුරුෂයා විසින් ගන්නා ලද දිය බින්දු දෙක තුන ඉතා ස්වල්ප වන්නේය. ගන්නාලද දිය බින්දු දෙක තුන ඒ ජලය සමාන කරන කලද ගණනටද නො පැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි කලාවෙන් කලාවටද නොපැමිණෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්ය්ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.