12. 5. 6.
ලොකන්තරික (හෝ) අන්ධකාර සූත්රය
3888. “මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්ර සූර්ය්යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”. මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් “ස්වාමීනි, ඒ අන්ධකාරය මහත්ය ඒ අන්ධකාරය ඉතා මහත්ය. ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේදැයි?” ඇසීය. “මහණ, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේය.” “ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද, ඉතා භයානකවූද අන්ධකාරය කුමක්දැයි?” විචාළේය.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මේ දුකය’යි තත්වූ පරිදි නොදනිත්ද... ‘මේ දුක නිරෝධගාමිනී ප්රතිපදාවය’යි තත්වූ පරිදි නොදනිත්ද, ඔව්හු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් කොට, ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට සොක පරිදෙව දුක්ඛ දොමනස්සයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් ද, රැ ස්කොට ජාති අන්ධකාරයෙහිද වැටෙත්. ජරා අන්ධකාරයෙහිද වැටෙත්. මරණ අන්ධකාරයෙහිද වැටෙත්. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාස අන්ධකාරයෙහිද වැටෙත්. ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, පරිදේවයන්ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොමනස්සයන්ගෙන්ද, උපායාසයන්ගෙන්ද නොමිදෙත්. දුකින් නොමිදෙත්යයි කියමි.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මේ දුකය’යි තත්වූ පරිදි දනිත්ද... ‘මේ දුක නිරෝධගාමිනී ප්රතිපදාවය’යි තත්වූ පරිදි දනිත්ද, ඔව්හු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් නොකොට, ජරාව පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට මරණය පිණිස පවත්නාවූ සංස්කායන්ද රැස්නොකොට සොක පරිදෙව දුක් දොම්නස් උපායාසයන් පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට ජාති අන්ධකාරයටද නොවැටෙත්. ජරා අන්ධකාරයටද නොවැටෙත් මරණ අන්ධකාරයටද නොවැටෙත්. සෝක පරිදෙව දුක් දොම්නස් උපායාස අන්ධකාරයටද නොවැටෙත්. ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදේවයන් ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොම්නස්සයන්ගෙන්ද, උපායාසයන් ගෙන්ද, මිදෙත්. (ඔව්හු) දුකෙන් මිදෙත් යයි කියමි. එහෙයින් මහණෙනි, ‘මේ දුක’ යයි වීර්යය කටයුතුයි... ‘මේ දුක නිරෝධගාමිනී ප්රතිපදාව’ යයි වීර්යය කටයුතුයි.
12. 5. 7.
පඨමඑකච්ඡිග්ගල සූත්රය
3889. “මහණෙනි, පුරුෂයෙක්තෙමේ එක් සිදුරක් ඇති වියදණ්ඩක් මහ සයුරෙහි දමන්නේය. එහි (මහසයුරෙහි) කණ කැස්බෙක් වාසය කරන්නේය. ඌ සියක් වසකට සියක් වසකට වරක් මතුවන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? සියක් වසකට, සියක් වසකට වරක් උඩඑන්නාවූ කණකැස්බා ඒ කියනලද එක් සිදුරක් ඇති දණ්ඩෙහි (වියදඬු සිදුරෙහි) බෙල්ල දමන්නේද?” “ස්වාමීනි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඉදින් සිදුවියහැකි වන්නේය.” “මහණෙනි, සියක් වසකට සියක්වසකට වරක් උඩඑන්නාවූ ඒ කණකැස්බා ඒ එක්සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල දමයි නම් එය ඉක්මනින් වියහැකිය. මහණෙනි, එය සිදුවූවත් වරක් දුගතියට පැමිණි බාලයාහට මිනිසත් බවක් ලැබිය හැකියයි මම නොකියමි. මහණෙනි, ඊට හේතුව කවරේද? “මහණෙනි, එහි ධර්මයෙහි හැසිරීමක් නැත්තේය. පින් කිරීමක් නැත්තේය. මහණෙනි එහි ඔවුනොවුන් කාගැනීම බලවන්තයා, දුබලයා කාදැමීම පවත්නේය. ඊට හේතුව කවරේද? සතර ආර්ය්යසත්යයන් නොදක්නාලද බැවිනි. කවර සතරක්ද? දුක්ඛ ආර්ය්ය සත්යය, දුක්ඛ සමුදය ආර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ආර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය්ය සත්යය යන සතරයි. එහෙයින් මහණෙනි, ‘මේ දුක’ යයි වීර්යය කටයුතුයි... ‘මේ දුක නිරෝධගාමිනී ප්රතිපදාව’ යයි වීර්යය කටයුතුයි.