12. 5. 7.
පඨමඑකච්ඡිග්ගල සූත්‍රය
3889. “මහණෙනි, පුරුෂයෙක්තෙමේ එක් සිදුරක් ඇති වියදණ්ඩක් මහ සයුරෙහි දමන්නේය. එහි (මහසයුරෙහි) කණ කැස්බෙක් වාසය කරන්නේය. ඌ සියක් වසකට සියක් වසකට වරක් මතුවන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? සියක් වසකට, සියක් වසකට වරක් උඩඑන්නාවූ කණකැස්බා ඒ කියනලද එක් සිදුරක් ඇති දණ්ඩෙහි (වියදඬු සිදුරෙහි) බෙල්ල දමන්නේද?” “ස්වාමීනි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඉදින් සිදුවියහැකි වන්නේය.” “මහණෙනි, සියක් වසකට සියක්වසකට වරක් උඩඑන්නාවූ ඒ කණකැස්බා ඒ එක්සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල දමයි නම් එය ඉක්මනින් වියහැකිය. මහණෙනි, එය සිදුවූවත් වරක් දුගතියට පැමිණි බාලයාහට මිනිසත් බවක් ලැබිය හැකියයි මම නොකියමි. මහණෙනි, ඊට හේතුව කවරේද? “මහණෙනි, එහි ධර්මයෙහි හැසිරීමක් නැත්තේය. පින් කිරීමක් නැත්තේය. මහණෙනි එහි ඔවුනොවුන් කාගැනීම බලවන්තයා, දුබලයා කාදැමීම පවත්නේය. ඊට හේතුව කවරේද? සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බැවිනි. කවර සතරක්ද? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය යන සතරයි. එහෙයින් මහණෙනි, ‘මේ දුක’ යයි වීර්යය කටයුතුයි... ‘මේ දුක නිරෝධගාමිනී ප්‍රතිපදාව’ යයි වීර්යය කටයුතුයි.
12. 5. 8.
දුතිය එකච්ඡිග්ගල සූත්‍රය
3890. “මහණෙනි, යම්සේ මේ මහාපඨවිය එකම ජලාසයක් වන්නේද. එහි කිසියම් පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් බහා ලන්නේය. ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට ගසායන්නේය. අපරදිග වාතයෙන් පෙරදිගට ගසායන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුදිගට ගසායන්නේය. දකුණුදිග වාතයෙන් උතුරුදිගට ගසායන්නේය. එහි කණකැස්බෙක් වාසය කරන්නේය. ඌ සියවසකට සිය වසකට වරක් උඩට එන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? සිය වසකට සිය වසකට වරක් උඩ එන ඒ කැස්බා ඒ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල දමන්නේද?” “ස්වාමීනි, මෙය බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් වියහැකිද වන්නේය.” “යම්හෙයකින් සියක් වසකට සියක් වසකට වරක් උඩ එන්නාවූ ඒ කැස්බා එක් සිදුරකින් යුත් වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේද. මහණෙනි, එපරිද්දෙන් බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් මිනිසත් බවක් ලබන්නේය. “මහණෙනි, එපරිද්දෙන් බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් අර්හත් සම්‍යක්සම්බුද්ධවූ තථාගත තෙමේ ලොව උපදින්නේය. මහණෙනි, එපරිද්දෙන් බොහෝ කාලයකින් කරුණු යෙදෙන සැටියෙන් තථාගතයන් විසින් දෙසිත ධර්මවිනය ලෝකයෙහි බබලන්නේය. මහණෙනි, ඒ මිනිසත් බව ලබන ලදී. ලෝකයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතතෙමේ පහළවිය. තථාගතයන් විසින් අවබෝධ කරනලද ධර්මවිනය ලෝකයෙහි බබලන්නේය. එහෙයින් මහණෙනි, ‘මේ දුක’ යයි වීර්යය කටයුතුයි... ‘මේ දුක නිරෝධගාමිනී ප්‍රතිපදාව’ යයි වීර්යය කටයුතුයි.”
12. 5. 9.
පඨම සිනෙරුසක්ඛරොපම සූත්‍රය
3891. “මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුංඇට සතක් පමණවූ ගල්කැටයක් මහාමේරු පර්වතයාගේ සමීපයෙහි තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මුංඇට සතක් පමණවූ ඒ ගල්කැටයක් මහාමේරු පර්වතයත් යන දෙකින් කුමක් මහත් වන්නේද?” ‘ස්වාමීනි, ඒ මහාමේරු පර්වතයම ඉතා මහත් වන්නේය. මුංඇට සතක් පමණවූ ගල ඉතා කුඩාය. ඒ තබනලද මුංඇට සතක් පමණවූ ගල්කැටය මහාමේරු පර්වතය හා සසඳන කල ගණනකට නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”