12. 4. 9.
ඉන්දඛීල සූත්රය
3881. මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු අන්යවූ ශ්රමණයකුගේ හෝ බ්රාහ්මණයකුගේ හෝ මුහුණ බලත්. මේ පින්වතා ඒකාන්තයෙන් දැනගත යුත්ත දනී. දැක්ක යුත්ත දකීය” කියායි. මහණෙනි, යම්සේ සමභූමිභාගයෙහි තබන ලද්දාවූ සැහැල්ලුවූ වාතයෙන් ගෙනයන්නාවූ ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් හෝ වේද, එය පෙරදිග වාතයෙන් අපරදිගට ගෙන යන්නේය. අපරදිග වාතයෙන් පෙරදිගට ගෙනයන්නේය, උතුරුදිග වාතයෙන් දකුණුදිගට ගෙනයන්නේය, දකුණුදිග වාතයෙන් උතුරුදිගට ගෙනයන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, කපු පුළුන් සැහැල්ලු බැවිනි. මහණෙනි, එසේම යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි නොදනිත්ද, මෙය දුක නැති කිරීම යයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු අන්යවූ ශ්රමණයෙකුගේ හෝ බ්රාහ්මණයෙකුගේ හෝ මුහුණ බලත්. “මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්ය්ය සත්යය නොදක්නා ලද හෙයිනි.
මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැතිකිරීම යයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද ඔවුහු අන්යවූ ශ්රමණයෙකුගේ හෝ බ්රාහ්මණයෙකුගේ හෝ මුහුණ නොබලත්. ‘මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. මහණෙනි, යම්සේ ගැඹුරු බැස්ම ඇත්තාවූ මනාකොට සිටුවන ලද්දාවූ, නොසෙල්වෙන්නාවූ, කම්පානොවෙන්නාවූ, යකඩ කණුවක් හෝ ලී කණුවක් හෝ වෙයිද, එය පෙරදිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පානොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. අපරදිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. උතුරු දිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය, නොසැලෙන්නේය. දකුණු දිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, කණුව ගැඹුරෙහි බස්වා මනාව සිටුවන ලද බැවිනි. මහණෙනි, එසේම යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුකට හේතුව යයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැතිවීමයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, ඔවුහු අන්ය ශ්රමණයෙකුගේ හෝ බ්රාහ්මණයෙකුගේ හෝ මුහුණ නොබලත්. “මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. ඊට හේතුව කවරේද? චතුරාර්ය්ය සත්යය මනාකොට දක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදා ආර්ය්ය සත්යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 10.
වාද සූත්රය
3882. මහණෙනි, යම් කිසි මහණෙක් තෙම වනාහි, මෙය දුකයයි තත්වූ පරිදි දනීද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනීද, ඉදින් පෙරදිගින් වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය. අපර දිගින්ද, වාදය කැමැත්තාවූ වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පාකරන්නේය. විශේෂයෙන් කම්පාකරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය. උතුරු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය. දකුණු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය. මහණෙනි, සොළොස් රියන් ගල්ටැඹක් ඇත්තේය. එහි අට රියනක් වල යටට බැස ඇත්තේද අට රියනක් වලින් මතුවී සිටියේ වේද ඉදින් පෙර දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය. ඉදින් අපර දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය. ඉදින් උතුරු දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය. ඉදින් දකුණු දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය. ඊට හේතුව කුමක්ද? මහණෙනි, ගල් කණුව ගැඹුරු වළක මනාව සිටුවන ලද හෙයිනි.
මහණෙනි, එසේම යම් කිසි මහණෙක් තෙම වනාහි මෙය දුකයයි තත්වූ පරිදි දනීද. මේ දුකට හේතුවයයි තත් පරිදි දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැති කරන මාර්ගයයි තත් පරිදි දනියිද ඉදින් පෙර දිගින් වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදාරොපනය කරන්නෙමියි එන්නේ වේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව ධර්මයෙන් කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. විශේෂයෙන් සොලවන්නේය. යන මීට හේතු නැත්තේය. අපර දිගින්ද, වාදය කැමැත්තාවූ වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පාකරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය. දකුණු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය. ඊට හේතුව කවරේද? චතුරාර්ය්ය සත්යය මනාකොට දක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදා ආර්ය්ය සත්යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
සිංසපාවනවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
සිංසපා, ඛදිර, දණ්ඩ, චෙල, සත්තිසත ද, පාණ, සූරියූපම දෙකක් ද, ඉන්දඛීල සහ වාද සූත්රය ද වේ.