12. 4. 8.
දුතිය සූරියූපම සූත්රය
3880. මහණෙනි, යම්තාක් සඳ හිරු දෙදෙන ලෝකයෙහි පහළ නොවෙත්ද ඒතාක් මහත්වූ ආලෝකයාගේ, මහත්වූ බැබලීමක් පහළ නොවෙයි. එකල්හි ගනඳුර වෙයි. අඳුරෙන් වැඩීම වෙයි. ඒතාක් රෑ දවල් නොපෙනෙත්. මාස අර්ධ මාසයෝ නොපෙනෙත්. ඍතු වර්ෂයෝ නොපෙනෙත්. මහණෙනි, යම් තැනක පටන් සඳ හිරු දෙදෙන ලෝකයෙහි උපදිත්ද, එකල්හි මහත්වූ ආලෝකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම වෙයි. එකල්හි අඳුර නැත්තේ වෙයි. එකල්හි රෑ දාවල් පෙනෙත්. මාස අර්ධ මාසයෝ පෙනෙත්. ඍතු වර්ෂයෝ පෙනෙත්.
මහණෙනි, එසේම යම්තාක් අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ලෝකයෙහි පහළ නොවේද ඒ තාක් මහත්වූ ආලෝකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම නොවෙයි. එකල්හි ගනඳුර ඒතාක් චතුරාර්ය්ය සත්යය දැකීමක් දේශනාකිරීමක්, පැණවීමක්, තැබීමක්, විවරණය කිරීමක්, බෙදීමක් උඩුකුරු කිරීමක් නොවෙයි. මහණෙනි, යම් තැනක පටන් අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ලෝකයෙහි පහළ වෙයිද, එකල්හි මහත්වූ ආලෝකය සහ දීප්තිය පහළ වෙයි. එකල්හි ගනදුර දුරුවෙයි. එකල්හි චතුරාර්ය්ය සත්යය කීම, දේශනාකිරීම, පැණවීම, තැබීම, විවරණයකිරීම, බෙදීම උඩුකුරු කිරීම වෙයි. කවර සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදය ආර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ආර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්රතිපදා ආර්ය්ය සත්යය වෙත්. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 9.
ඉන්දඛීල සූත්රය
3881. මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු අන්යවූ ශ්රමණයකුගේ හෝ බ්රාහ්මණයකුගේ හෝ මුහුණ බලත්. මේ පින්වතා ඒකාන්තයෙන් දැනගත යුත්ත දනී. දැක්ක යුත්ත දකීය” කියායි. මහණෙනි, යම්සේ සමභූමිභාගයෙහි තබන ලද්දාවූ සැහැල්ලුවූ වාතයෙන් ගෙනයන්නාවූ ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් හෝ වේද, එය පෙරදිග වාතයෙන් අපරදිගට ගෙන යන්නේය. අපරදිග වාතයෙන් පෙරදිගට ගෙනයන්නේය, උතුරුදිග වාතයෙන් දකුණුදිගට ගෙනයන්නේය, දකුණුදිග වාතයෙන් උතුරුදිගට ගෙනයන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, කපු පුළුන් සැහැල්ලු බැවිනි. මහණෙනි, එසේම යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි නොදනිත්ද, මෙය දුක නැති කිරීම යයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු අන්යවූ ශ්රමණයෙකුගේ හෝ බ්රාහ්මණයෙකුගේ හෝ මුහුණ බලත්. “මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්ය්ය සත්යය නොදක්නා ලද හෙයිනි.
මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැතිකිරීම යයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද ඔවුහු අන්යවූ ශ්රමණයෙකුගේ හෝ බ්රාහ්මණයෙකුගේ හෝ මුහුණ නොබලත්. ‘මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. මහණෙනි, යම්සේ ගැඹුරු බැස්ම ඇත්තාවූ මනාකොට සිටුවන ලද්දාවූ, නොසෙල්වෙන්නාවූ, කම්පානොවෙන්නාවූ, යකඩ කණුවක් හෝ ලී කණුවක් හෝ වෙයිද, එය පෙරදිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පානොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. අපරදිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. උතුරු දිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය, නොසැලෙන්නේය. දකුණු දිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, කණුව ගැඹුරෙහි බස්වා මනාව සිටුවන ලද බැවිනි. මහණෙනි, එසේම යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුකට හේතුව යයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැතිවීමයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, ඔවුහු අන්ය ශ්රමණයෙකුගේ හෝ බ්රාහ්මණයෙකුගේ හෝ මුහුණ නොබලත්. “මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. ඊට හේතුව කවරේද? චතුරාර්ය්ය සත්යය මනාකොට දක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදා ආර්ය්ය සත්යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.