12. 2. 6.
දුතිය සච්චධාරණ සූත්‍රය
3858. “මහණෙනි, මා විසින් නුඹලාට චතුරාර්‍ය්‍යසත්‍යයෝ දේශනා කරණ ලදහයි දරාගනිව්.” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරනලද චතුරාර්‍ය්‍යසත්‍යයන් දරමියි” සැලකෙළේය. “මහණ, නුඹ මවිසින් දේශනා කරනලද චතුරාර්‍ය්‍ය සත්‍යයන් කෙසේ දරන්නෙහිදැයි” අසා වදාළහ. “ස්වාමීනි මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවැනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනා කරනලද මේ පළමුවන ආර්‍ය්‍යසත්‍යය දුක්ඛාර්‍ය්‍යසත්‍ය නොවේ. මම මේ පළමුවෙනි දුක්ඛආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අනික් පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවෙයි.
“ස්වාමීනි, මම වනාහි දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද දෙවෙනි ආර්‍ය්‍ය සත්‍යය දරමි. කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනාකරනලද දෙවැනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය නොවේ. මම මේ දෙවැනි දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අනික් දෙවැනි දුක්ඛ සමුදය ආර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නේනම් ඒ කාරණය සිදුනොවේ.
“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දරමි යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනා කරනලද මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ තෙවැනි දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතික්ෂෙපකොට අන්‍යවූ තෙවෙනි දුක්ඛ නිරෝධාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.
“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද සතරවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයයි දරමි. යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනාකරනලද මේ දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය සතරවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අන්‍යවූ දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරන ලද ආර්‍ය්‍ය සත්‍යයන් මෙසේ දරමියි කීය.
මහණ, යහපති, යහපති. මහණ, නුඹ මා විසින් සතර ආර්‍ය්‍ය සත්‍යයන් දේශනා කරන ලද බව මනාව දරන්නෙහිය. මහණ, මා විසින් දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය පළමුවැනි ආර්‍ය්‍ය සත්‍යය වශයෙන් දේශනා කරන ලදී. එය එසේ දරව. මහණ, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ “ශ්‍රමණ ගෞතමයන් විසින් දේශනා කරන ලද මෙය පළමුවැනි දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය නොවේ. මම මේ පළමුවැනි දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය ප්‍රතික්ෂේප කොට අනෙක් පළමුවැනි දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමි” යි මෙසේ කියන්නේ නම්, ඒ කාරණය සිදු නොවේ. -පෙ-
“මහණ, මා විසින් සතරවැනිව දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වදාරණ ලදී. එය එසේ දරණු. මහණ, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් සතර වැනිව දේශනා කරන ලද එය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය නොවේ. මම වනාහි සතරවැනි දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙප කොට අනික් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නෙමි ඒ කාරණය සිදුනොවේ. එබැවින් මහණ, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
12. 2. 7.
සච්ච නිඤ්ඤාණ සූත්‍රය
3859. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජාති” භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති? “මහණ, දුකෙහි යම් නොදැනීමක් වෙයිද දුක්ඛ හේතුවෙහි යම් නොදැනීමක් වේද, දුක් නැතිකිරීමෙහි යම් නොදැනීමක් වේද, දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතෙහි යම් නොදැනීමක් වේද, මහණ මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි. එබැවින් මහණ, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.