12. 2. 3.
ඛන්ධ සච්ච සූත්රය
3855. (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මේ ආර්ය්ය සත්යයෝ සතරක් වෙති. කවරක්හුද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදය ආර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ආර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය්ය සත්යය, යනුයි. “මහණෙනි, දුක්ඛාර්ය්ය සත්යය කවරහුද? එයට පඤ්ච උපාදාන ස්කන්ධයයි කියයුතුය. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සඩ්ඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්ය්ය සත්යයයි කියනු ලැබේ
“මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය්ය සත්යය කවරේද? නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා යෙදුනාවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ යම් තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්, කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය. යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛ සමුදය ආර්ය්ය සත්යයයි කියනු ලැබේ.
“මහණෙනි, දුක්ඛ නිරෝධාර්ය්යසත්යය කවරේද? ඒ තෘෂ්ණාවගේම යම් ඉතිරිනොකොට නැතිකිරීමක් දුරුකිරීමක් අත්හැරීමක් මිදීමක් නොඇල්මක් වේද, මහණෙනි, මේ දුක්ඛ නිරෝධාර්ය්ය සත්යයයි කියනු ලැබේ.
“මහණෙනි, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය්ය සත්යය කවරේද? මේ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයමැයි. හේ කෙසේදයත් සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මෙයයි. මහණෙනි, මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය්ය සත්යයයි කියනුලැබේ. මහණෙනි, මේ වනාහි චතුරාර්ය්ය සත්යයෝයි. “මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුකයයි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුයි මේ දුක්ඛ සමුදයයි දැනගැනීම පිණිස උත්සාහකටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතු, මේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව යයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි කියායි.
12. 2. 4.
ආයතනසච්ච සූත්රය
3856. මහණෙනි, මේ ආර්ය්යසත්යයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: දුක්ඛ ආර්ය්යසත්යය -පෙ- දුක්ඛනිරෝධගාමිණී ප්රතිපදා ආර්ය්යසත්යය යි. මහණෙනි, දුක්ඛාර්ය්යසත්ය කවරේද? අධ්යාත්මික ආයතන සයයයි කියයුතුය. ඒ සය කවරහුද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්ය්ය සත්යයයි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදය ආර්ය්යසත්යය කවරේද? යම් මේ තෘෂ්ණාවක් පුනර්භවය ඇතිකරන්නේද, නන්දිරාගයෙන් යුක්තවූයේද, ඒ ඒ තැන්හි ඇලෙන්නේද, එනම්: කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව යි. මහණෙනි, මේ දුක්ඛසමුදය ආර්ය්යසත්යය යයි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධ ආර්ය්යසත්යය කවරේද? ඒ තෘෂ්ණාවගේම යම් ඉතිරි නැතිව විරාගයෙන් නිරෝධයක් වේද, අත්හැරීමක් වේද, දුරලීමක් වේද, මිදීමක් වේද, ආලය නොකිරීමක් වේද, මහණෙනි, මේ දුක්ඛනිරෝධ ආර්ය්යසත්යය යයි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදා ආර්ය්යසත්යය කවරේද? මේ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයම ය. එනම්: සම්මා දිට්ඨි -පෙ- සම්මා සමාධි ය. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදා ආර්ය්යසත්යය යයි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි සතර ආර්ය්යසත්යයෝ ය. මහණෙනි, එබැවින් මෙහිලා ‘මේ දුක’ යයි වීර්යය කළ යුතුය. -පෙ- ‘මේ දුක්ඛනිරෝධගාමිණී ප්රතිපදාව’ යයි වීර්යය කළ යුතුය.
12. 2. 5.
පඨම සච්චධාරණ සූත්රය
3857. “මහණෙනි, මා විසින් නුඹලාට චතුරාර්ය්යසත්යයෝ දේශනා කරණ ලදහයි දරාගනිව්.” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේ විසින් දේශනාකරනලද චතුරාර්ය්යසත්යයන් දරමියි” සැලකෙළේය. “මහණ, නුඹ මවිසින් දේශනා කරනලද චතුරාර්ය්ය සත්යයන් කෙසේ දරන්නෙහිදැයි” විචාළහ. “ස්වාමීනි, මම දුක්ඛය භාග්යවතුන් වහන්සේ විසින් පළමුකොට දේශනා කරනලද ආර්ය්යසත්යයයි දරමි.