12. 2. 4.
ආයතනසච්ච සූත්‍රය
3856. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍යයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: දුක්ඛ ආර්‍ය්‍යසත්‍යය -පෙ- දුක්ඛනිරෝධගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍ය කවරේද? අධ්‍යාත්මික ආයතන සයයයි කියයුතුය. ඒ සය කවරහුද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය කවරේද? යම් මේ තෘෂ්ණාවක් පුනර්භවය ඇතිකරන්නේද, නන්දිරාගයෙන් යුක්තවූයේද, ඒ ඒ තැන්හි ඇලෙන්නේද, එනම්: කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව යි. මහණෙනි, මේ දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය යයි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධ ආර්‍ය්‍යසත්‍යය කවරේද? ඒ තෘෂ්ණාවගේම යම් ඉතිරි නැතිව විරාගයෙන් නිරෝධයක් වේද, අත්හැරීමක් වේද, දුරලීමක් වේද, මිදීමක් වේද, ආලය නොකිරීමක් වේද, මහණෙනි, මේ දුක්ඛනිරෝධ ආර්‍ය්‍යසත්‍යය යයි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ය. එනම්: සම්මා දිට්ඨි -පෙ- සම්මා සමාධි ය. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය යයි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ ය. මහණෙනි, එබැවින් මෙහිලා ‘මේ දුක’ යයි වීර්යය කළ යුතුය. -පෙ- ‘මේ දුක්ඛනිරෝධගාමිණී ප්‍රතිපදාව’ යයි වීර්යය කළ යුතුය.
12. 2. 5.
පඨම සච්චධාරණ සූත්‍රය
3857. “මහණෙනි, මා විසින් නුඹලාට චතුරාර්‍ය්‍යසත්‍යයෝ දේශනා කරණ ලදහයි දරාගනිව්.” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරනලද චතුරාර්‍ය්‍යසත්‍යයන් දරමියි” සැලකෙළේය. “මහණ, නුඹ මවිසින් දේශනා කරනලද චතුරාර්‍ය්‍ය සත්‍යයන් කෙසේ දරන්නෙහිදැයි” විචාළහ. “ස්වාමීනි, මම දුක්ඛය භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුකොට දේශනා කරනලද ආර්‍ය්‍යසත්‍යයයි දරමි.
“ස්වාමීනි, මම දුක්ඛසමුදය, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවනුව දේශනාකරණලද ආර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, මම දුක්ඛනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වෙනුව දේශනාකරණලද, ආර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, මම දුක්ඛනිරෝධගාමිනී පටිපදාව භාග්‍යවතුන් වහන්සේ විසින් සතරවෙනුව දේශනා කරණලද ආර්‍ය්‍ය සත්‍යයයි දරමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණලද සතර ආර්‍ය්‍යසත්‍යයන් මෙසේ දරමියි” කීයේය.
“මහණ, යහපති, යහපති, මහණ නුඹවනාහි මවිසින් දේශනා කරණලද සතරආර්‍ය්‍යසත්‍යය දරන්නෙහි (ඉතා) මැනවි. මහණ, මවිසින් වනාහි පළමුකොට දුක්ඛාර්‍ය්‍යසත්‍යය දේශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි දෙවනුව දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය දේශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මා විසින් තෙවනුව දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දේශනාකරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි සතරවෙනුව දුක්ඛනිරෝධගාමිණීපටිපදා ආර්‍ය්‍යසත්‍යය දේශනා කරන ලදී, එය එසේ දරාගනුව. “මහණ, මෙසේ වනාහි මා විසින් දේශනා කරණලද සතර ආර්‍ය්‍යසත්‍යයන් දරාගනුව. මහණ, එබැවින් මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ සමුදයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.”
12. 2. 6.
දුතිය සච්චධාරණ සූත්‍රය
3858. “මහණෙනි, මා විසින් නුඹලාට චතුරාර්‍ය්‍යසත්‍යයෝ දේශනා කරණ ලදහයි දරාගනිව්.” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරනලද චතුරාර්‍ය්‍යසත්‍යයන් දරමියි” සැලකෙළේය. “මහණ, නුඹ මවිසින් දේශනා කරනලද චතුරාර්‍ය්‍ය සත්‍යයන් කෙසේ දරන්නෙහිදැයි” අසා වදාළහ. “ස්වාමීනි මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවැනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනා කරනලද මේ පළමුවන ආර්‍ය්‍යසත්‍යය දුක්ඛාර්‍ය්‍යසත්‍ය නොවේ. මම මේ පළමුවෙනි දුක්ඛආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අනික් පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවෙයි.
“ස්වාමීනි, මම වනාහි දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද දෙවෙනි ආර්‍ය්‍ය සත්‍යය දරමි. කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනාකරනලද දෙවැනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය නොවේ. මම මේ දෙවැනි දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අනික් දෙවැනි දුක්ඛ සමුදය ආර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නේනම් ඒ කාරණය සිදුනොවේ.
“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දරමි යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනා කරනලද මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ තෙවැනි දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතික්ෂෙපකොට අන්‍යවූ තෙවෙනි දුක්ඛ නිරෝධාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.