12. 1. 9.
විග්ගාහිකකථා සූත්රය
3851. මහණෙනි, ‘නුඹ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මය විනය දනිමි. කිම, ඔබ මේ ධර්ම විනය දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙක් වෙහිය. මම මනාකොට පිළිපදින්නෙක් වෙමි. මුලදී කියයුත්ත පසුව කීවෙහිය, පසුව කිවයුත්ත පළමුව කීයෙහිය. මගේ කීම සත්යය. ඔබගේ කීම අසත්යය. විරුද්ධ මඟ ගැනීම නුඹගේ පුරුද්දය, ඔබට වාදය නංවන ලදී. වාදයෙන් මිදීම පිණිස උත්සාහ කරව. නිග්රහ කරන ලද්දෙහිය. ඉදින් හැකිනම් නිරවුල් කරවයි’ විරුද්ධ කථා නොකරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ නොවෙයි, මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල්වන්නේ නොවෙයි. කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද නිවන් පිණිසද නොපවතියි. මහණෙනි, තෙපි කථාකරන්නාහු නම් මේ දුකයයි කථා කරව්. -පෙ- මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි කථා කරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල්වෙයි. කලකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි -පෙ- මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.
12. 1. 10.
තිරච්ඡාන කථා සූත්රය
3852. මහණෙනි, සග මොක් දෙකට බාධා කරන (තිරච්ඡාන කථා) කථා නොකරව්. ඒ කවරහුද? රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, වස්ත්ර පිළිබඳ කථාය, යහන් පිළිබඳ කථාය, මල්දම් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, ඤාතීන් පිළිබඳ කථාය, යානා පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථින් පිළිබඳ කථාය, පැන්තොටවල් පිළිබඳ කථාය, පෙර මියගිය නෑයන් පිළිබඳ කථාය, මෙයින් අන්යවූ නොයෙක් නිරර්ථක කථාය, ලොව අගමුල පිළිබඳ කථාය, සමුද්ර පිළිබඳ කථාය, දියුණුව මෙසේ වෙයි, පිරිහීම මෙසේ වෙයි යනුවෙන් කරන තීර්ථක කථාය යන මොහුයි. ඊට හේතු කවරේද? මේ කථා අර්ථය පිණිස පවත්නේ නොවෙයි. ආදි බ්රහ්මචර්ය්යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස නිවන් පිණිස නොපවතියි. මහණෙනි, තෙපි කථාකරන්නහු නම් මේ දුකයයි කථා කරව්, මේ දුක්ඛ සමුදයයි කථා කරව්, මේ දුක්ඛ නිරෝධ යයි කථා කරව්, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායයි කථා කරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි. මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල් වූයේ වෙයි. කලකිරීම පිණිස නොඇල්ම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂ නුවණින් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී. මහණෙනි, එහෙයින් මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් ඉපදීමේ හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
පළමුවන සමාධි වර්ගය නිමි
එහි උද්දානය:
සමාධි, පටිසල්ලාන, කුලපුත්ත සූත්ර දෙක ද, සමණබ්රාහ්මණ සූත්ර දෙක ද, විතක්ක, චින්තා, විග්ගාහික හා (තිරච්ඡාන) කථා සූත්රය ද වේ.