12. 1. 10.
තිරච්ඡාන කථා සූත්රය
3852. මහණෙනි, සග මොක් දෙකට බාධා කරන (තිරච්ඡාන කථා) කථා නොකරව්. ඒ කවරහුද? රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, වස්ත්ර පිළිබඳ කථාය, යහන් පිළිබඳ කථාය, මල්දම් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, ඤාතීන් පිළිබඳ කථාය, යානා පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථින් පිළිබඳ කථාය, පැන්තොටවල් පිළිබඳ කථාය, පෙර මියගිය නෑයන් පිළිබඳ කථාය, මෙයින් අන්යවූ නොයෙක් නිරර්ථක කථාය, ලොව අගමුල පිළිබඳ කථාය, සමුද්ර පිළිබඳ කථාය, දියුණුව මෙසේ වෙයි, පිරිහීම මෙසේ වෙයි යනුවෙන් කරන තීර්ථක කථාය යන මොහුයි. ඊට හේතු කවරේද? මේ කථා අර්ථය පිණිස පවත්නේ නොවෙයි. ආදි බ්රහ්මචර්ය්යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස නිවන් පිණිස නොපවතියි. මහණෙනි, තෙපි කථාකරන්නහු නම් මේ දුකයයි කථා කරව්, මේ දුක්ඛ සමුදයයි කථා කරව්, මේ දුක්ඛ නිරෝධ යයි කථා කරව්, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායයි කථා කරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි. මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල් වූයේ වෙයි. කලකිරීම පිණිස නොඇල්ම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂ නුවණින් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී. මහණෙනි, එහෙයින් මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් ඉපදීමේ හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
පළමුවන සමාධි වර්ගය නිමි
එහි උද්දානය:
සමාධි, පටිසල්ලාන, කුලපුත්ත සූත්ර දෙක ද, සමණබ්රාහ්මණ සූත්ර දෙක ද, විතක්ක, චින්තා, විග්ගාහික හා (තිරච්ඡාන) කථා සූත්රය ද වේ.
2. ධම්මචක්කප්පවත්ත වර්ගය
12. 2. 1.
ධම්මචක්කප්පවත්ත සූත්රය
3853. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ පස්වග භික්ෂූන්ට ඇමතූහ: “මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු මේ දෙකෙළවරකි. (එනම්) ලාමකවූ ගැමියන්ට අයත්වූ පෘථග්ජනයන්ට අයත්වූ උතුම් නොවූ අනර්ථය පිණිස පවතින්නාවූ වස්තු කාමයන්හි ක්ලෙශ කාමය කරණකොට යම් ඇලී වාසය කිරීමක් වේද දුක්වූ ලාමකවූ අනර්ථය පිණිස පවත්නාවූ යම් ඒ කයට දුක් ගෙන දෙන පිළිවෙතක යෙදීමක් වේද යන මේ අන්ත දෙකය. මහණෙනි, ඒ මේ දෙකෙළවරට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්රඥාචක්ෂුව ඇති කරන්නාවූ, ඥානය ඇති කරන්නාවූ මධ්යම ප්රතිපදාව කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්යය දැනීම පිණිස චතුස්සත්යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතිත්. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාවූ ප්රඥා චක්ෂුව ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්යයාගේ දැනීම පිණිස චතුස්සත්යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ ඒ මධ්යම ප්රතිපදාව කවරීද? මේ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කවරේදයත්? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාවය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්රඥා චක්ෂුස ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්යයාගේ දැනීම පිණිස චතුස්සත්ය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධ්යම ප්රතිපදාව වෙයි.
මහණෙනි, මේ වනාහි දුක්ඛාර්ය්ය සත්යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්රියයන් හා එක්වීම දුකය, ප්රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය. මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදයාර්ථර්ය්ය සත්යයයි. නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්. කාම තෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයි යන මොව්හුයි. මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ආර්ය්ය සත්යයවේ. යම් ඒ තෘෂ්ණාවගේ ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, දුරු කිරීමක් වේද, නැති කිරීමක් වේද, මිදීමක් වේද, ආලය අත්හැරීමක් වේද එයයි. මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය්යසත්යය වේ. එනම් ආර්ය්ය අෂ්ටාංගික මාර්ගමැයි. හේ කවරේද යත්? සම්යක්දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මොහුයි.