11. 3. 9.
9. අරියසාවක වෙරභය සූත්‍රය
1025. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්හ. එක්පසෙක හුන් ඒ භික්ෂූහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, යම්තැනක පටන් ආර්‍ය්‍යශ්‍රාවකයාහට මේ පස්බිය සහ වෛරයො සංසිඳුනාහු වෙත්ද මේ ශ්‍රොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයිද, මේ ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ, අවබෝධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමැති වන්නේ තෙමේම තමාහට ‘ක්ෂයවූ නිරය ඇත්තෙමි. ක්ෂයවූ තිරිසන් යොනි ඇත්තෙමි. ක්ෂයවූ ප්‍රේතවිෂය ඇත්තෙමි. ක්ෂයවූ අපාය දුර්ගති නිරය ඇත්තේ වෙමි. අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ, නියත ගති ඇත්තාවූ, මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූවෙක් වෙමියි’ ප්‍රකාශ කරන්නේය”
11. 3. 10.
10. නන්දක ලිච්ඡවි සූත්‍රය
1026. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි නන්දක නම් ලිච්ඡවි මහ ඇමති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ නන්දක නම් ලිච්ඡවි මහ ඇමතිහට භාග්‍යවතුන් වහන්සේ මෙය කීයේය ‘නන්දකය, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි නිරයෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. කවර සතරකින්ද? නන්දකය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේවෙයි: “මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්වෙයි. සම්‍යක් සම්බුද්ධ වෙයි. විජ්ජාචරණ සම්පන්නවෙයි. සුගතවෙයි. ලෝකවිදූ වෙයි. අනුත්තර පුරිසදම්මසාරථි වෙයි. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වෙයි. චතුස්සත්‍යය අවබෝධ කෙළේ වෙයි. භාග්‍යවත්හයි” කියායි. ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි. සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේවෙයි. නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයි. ඉමෙහි ඛො නන්දක, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
“නන්දකය, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි දිව්‍යමයවූද මනුෂ්‍යමයවූද, ආයුසින් යුක්තවූයේ වෙයි. දිව්‍යමය වූද, මනුෂ්‍යමයවූද වර්ණයෙන් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද සැපයෙන් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද යසසින් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද අධිපතිභාවයෙන් යුක්තවූයේ වෙයි. නන්දකය, එය මම අන්‍යවූ ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අසා නොකියමි. හුදෙක් මා විසින් යමක් තෙමේම අවබෝධ කරන ලද්දේද, තමාම දක්නා ලද්දේද, තමාම දැනගන්නා ලද්දේද එයම මම කියමි” යි වදාළසේක. “මෙසේ වදාළ කල්හි එක්තරා පුරුෂයෙක් නන්දක නම් ලිච්ඡවි මහ ඇමතියාට මෙය කීයේය. ‘ස්වාමීනි, ස්නානය කරන කාලයයි.” “පින්වත, දැන් මේ බාහිරවූ ස්නානයෙන් වැඩක් නැත. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිවූ යම් මේ ප්‍රසාදයක් වේද, මේ ප්‍රසාදය නමැති අධ්‍යාත්මික ස්නානයම ප්‍රමාණයයි” කීය.
සරණානිවග්ගො තතියො.
තත්රුද්දානං:
මහානාම සූත්‍ර තුනක් ද, සරකපානි සූත්‍ර දෙකක් ද, අනාථපිණ්ඩික සූත්‍ර තුනක් ද, භික්ඛු සහ නන්දක සූත්‍ර යැයි දසයකි.