11. 3. 2.
යෙන නින්න මහානාම සූත්‍රය
1018. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය එක්පසෙක හුන්නාවූ මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “ස්වාමීනි, මේ කිඹුල්වත් නුවර ආහාරපානාදියෙන් සමෘද්ධය. හැම දෙයින් සම්පූර්ණය. බොහෝ මිනිසුන්ගෙන් යුක්තය. මිනිසුන්ගෙන් අතරක් නැත. කෙළවරක් නොදත හැකි වීථීන්ගෙන් යුක්තය. ස්වාමීනි, ඒ මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හෝ සිත දියුණු කළ භික්ෂුවක් හෝ ආශ්‍රය කොට සවස් කාලයෙහි කිඹුල්වත් නුවරට ඇතුල්වන කල්හි කලබලවූ ඇතුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ අසුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ රිය ඉදිරියටද පැමිණෙමි. කලබලවූ ගැල් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ පුරුෂයකු ඉදිරියටද පැමිණෙමි. ස්වාමීනි, ඒ මට එකල්හි භාග්‍යවතුන් වහන්සේ අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ධර්මය අරබයා පවත්නා සිහිය නැතිවෙයි. සංඝයා අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ස්වාමීනි, ඒ මට ඉදින් එකල්හි කළුරිය කරන්නෙම් නම් ‘මාගේ ගතිය කුමක්ද, පරලොව කුමක්දැයි’ යන අදහස පහළවිය.
“මහානාමය, බය නොවව. මහානාමය, බය නොවව. ඔබට උතුම් මරණයක්, උතුම් කාලක්‍රියාවක් වන්නේය. මහානාමය, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම නිවනට නැමුණේ, නිවනට හැරුණේ, නිවනට බරවූයේ වෙයි. කවර සතරකින්ද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවිය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලොකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක භාග්‍යවත්හ කියායි. “ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය, කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි. පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි. “සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය කියායි. “නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේ වෙයි කියායි. මහානාමය, යම්සේ නැගෙනහිරට නැමුණාවූ නැගෙනහිරට හැරුණාවූ නැගෙනහිරට බරවූ ගසක්වේද, එය මුලින් කපන ලද්දේ කවර දිශාවට වැටෙන්නේද? “ස්වාමීනි, යම් දිසාවකට නැමුණේවේද, යම් දිසාවකට හැරුණේ වේද, යම් දිසාවකට බරවූයේ වේද (ඒ දිසාවටය) “මහානාමය, එසේම මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම නිවනට නැමුණේ, නිවනට හැරුණේ, නිවනට බරවූයේ වෙයි.”
11. 3. 3.
ගොධසක්ක සූත්‍රය
1019. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන්ගේ ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරන සේක. එකල්හි මහානාම ශාක්‍යතෙම “ගොධ” නම් ශාක්‍යතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, “ගොධ” නම් ශාක්‍යයාහට මෙය කීයේය. “ගොධය, ඔබ කෙතෙක් ධර්මයකින් යුක්තවූවෙකු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි දන්නෙහිද? “මහානාමය, මේ ධර්ම තුනකින් යුක්තවූවාහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි දනිමි. “කවර තුනකින්ද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ භාග්‍යවතුන්වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නය, සුගතයහ, ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි. “ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයතෙම මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ලද ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය” කියායි. “සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම (ශාසන ප්‍රතිපත්තියෙහි) මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය කියායි. “මහානාමය, මම මේ ධර්ම තුනින් යුක්තවූවාහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ පුද්ගලයායයි දනිමි.
‘මහානාමය, ඔබ වනාහි කොතෙක් ධර්මයකින් යුක්තවූවාහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි දන්නෙහිද? ‘පින්වත් ගොධය, මම වනාහි ධර්ම සතරකින් යුක්ත වූවහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි දනිමි. “කවර සතරකින්ද? පින්වත් ගොධය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක භාග්‍යවත්හ කියායි. “ධර්මයන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූවාහුය. “ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේය කියායි. “සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිස යුගසතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙතය කියායි. “නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතින්නාවූ, ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයි කියායි. “ගොධය, මම මේ ධර්ම සතරින් යුක්තවූවහු වනාහි අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි දනිමි. “මහානාමය, ඔබ නවතිනු මැනව. මහානාමය, ඔබ නවතිනු මැනව. මේ ධර්මයන්ගෙන් යුක්තවූවකු බව හෝ යුක්තනොවූවකු බව හෝ භාග්‍යවතුන් වහන්සේම දන්නාසේක. “ගොධය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යමු. ගොස්, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියන්නෙමුයි” කීය.