11. 1. 6.
ඉසිදත්ත පුරාණ සූත්රය
3774. මා විසින් මෙසේ අසනලදී. එසමයෙහි වනාහි බොහෝ භික්ෂූහු මසා කටයුතු නිමකරන ලද සිවුර ඇති භාග්යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි භාග්යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්. එසමයෙහි වනාහි ඉසිදත්ත සහ පුරාණ යන ගෘහපති දෙදෙන කිසියම් කරුණක් නිසා සාධුකයෙහි වෙසෙත්. ඉසිදත්ත සහ පුරාණ යන ගෘහපති දෙදෙන වනාහි නිමකරන සිවුර ඇති භාග්යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි බොහෝ භික්ෂූහු භාග්යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්’ (යන මේ කථාව) ඇසුවාය.
ඉක්බිති ඉසිදත්ත, පුරාණ ගෘහපති යන දෙදෙන මාර්ගයෙහි මිනිසෙකු තැබ්බවූහ ‘පින්වත් පුරුෂය, වඩින්නාවූ අර්හත් සම්යක් සම්බුද්ධ භාග්යවතුන් වහන්සේ යම් කලක නුඹ දකින්නෙහිද, එවිට අපට දැනුම් දෙව’ කියායි. දෙතුන් දිනක් සිටියාවූ ඒ පුරුෂ තෙම වනාහි වඩින්නාවූ භාග්යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක ඉසිදත්ත පුරාණ යන ගෘහපති දෙදෙන යම් තැනෙක්හිද, එතැන්හි ගියේය. ගොස් ඉසිදත්ත පුරාණ යන ගෘහපති දෙදෙනාහට මෙය කීයේය. “ස්වාමීනි, ඒ මේ අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ, භාග්යවතුන් වහන්සේ වඩිනසේක. එයට සුදුසු කාලය දැනගන්න” කියායි.
ඉක්බිති ඉසිදත්ත-පුරාණ යන ගෘහපති දෙදෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ භාග්යවතුන් වහන්සේගේ පසුපස ලුහුබැන්දාහුය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මගින් ඉවත්වී, එක්තරා රුක්මුලක් යම්තැනෙක්හිද එතැන්හි වැඩියේය. වැඩ, පණවන ලද ආසනයෙහි වැඩහුන්සේක. ඉසිදත්ත, පුරාණ යන ගෘහපති දෙදෙනත් භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන් ඉසිදත්ත පුරාණ නම් ගෘහපති දෙදෙන භාග්යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම කොසොල් රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වෙන සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇති වෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම කොසොල් රට චාරිකාවෙහි වැඩියාහුයයි යම් කලක අපි අසමුද එකල්හි අපට භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වුණු සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇති වෙයි.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ කොසොල් රටින් නික්ම මල්ල රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වෙනසේකැයි අපට නොසතුට ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ කොසොල් රටින් නික්ම මල්ල රට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වුණු සේකැයි අපට නොසතුට ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මල්ල රටින් නික්ම වැදෑරට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වනසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මල්ල රටින් නික්ම වැදෑරට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වූසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි දොම්නස ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වැදෑරටින් නික්ම කසී රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වන සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වැදෑරටින් නික්ම කසී රට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වූසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස හටගනියි.