10. 2. 5.
5. පඨම භික්ඛු එකධම්ම සූත්‍රය
991. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය: “ස්වාමීනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙද්ද, ධර්ම සතක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?” “ඇත මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරෙයි, ධර්ම සතරක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙති, ධර්ම සතක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙති.”
ස්වාමීනි, කවර නම් එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙද්ද, ධර්ම සතක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙද්ද? මහණෙනි, ආනාපානසති සමාධියයි, එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨානයන් පුරවයි, සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු සත බොජ්ඣංගයන් පුරවති, සත බොජ්ඣංගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විද්‍යාවිමුක්තිය පුරවති. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ ආනාපානසති සමාධිය කෙසේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨානයන් පුරවයිද: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ආරණ්‍යගතව හෝ... (පෙ)... මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ සත බොජ්ඣංගයෝ මෙසේ බහුල කරන ලද්දාහු විද්‍යාවිමුක්තිය සම්පූර්ණ කෙරෙත්.
10. 2. 6.
6. දුතිය භික්ඛු එකධම්ම සූත්‍රය
992. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නා වූ ඒ භික්ෂූන් හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද, ධර්ම සතක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද, (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය... ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් හොඳය...” “මහණෙනි, ඇත, එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරෙයි, ධර්ම සතරක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙති, ධර්ම සතක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙති.”
මහණෙනි, කවර නම් එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙද්ද, ධර්ම සතක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙද්ද? මහණෙනි, ආනාපානසති සමාධියයි, එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨානයන් පුරවයි, සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු සත බොජ්ඣංගයන් පුරවති, සත බොජ්ඣංගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විද්‍යාවිමුක්තිය පුරවති. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ ආනාපානසති සමාධිය කෙසේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨානයන් පුරවයිද: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ආරණ්‍යගතව හෝ රුක්මුල් ගතව හෝ හිස්ගෙයකට ගියේ හෝ පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන, සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳියි. හෙතෙම සිහියෙන් යුක්තවම ආශ්වාස කරයි, සිහියෙන් යුක්තවම ප්‍රශ්වාස කරයි... (පෙ)... පටිනිස්සග්ගානුපස්සීව ආශ්වාස කරන්නෙමියි හික්මෙයි, පටිනිස්සග්ගානුපස්සීව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.