10. 2. 6.
6. දුතිය භික්ඛු එකධම්ම සූත්‍රය
992. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නා වූ ඒ භික්ෂූන් හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද, ධර්ම සතක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද, (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය... ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් හොඳය...” “මහණෙනි, ඇත, එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරෙයි, ධර්ම සතරක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙති, ධර්ම සතක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙති.”
මහණෙනි, කවර නම් එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙද්ද, ධර්ම සතක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙද්ද? මහණෙනි, ආනාපානසති සමාධියයි, එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨානයන් පුරවයි, සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු සත බොජ්ඣංගයන් පුරවති, සත බොජ්ඣංගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විද්‍යාවිමුක්තිය පුරවති. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ ආනාපානසති සමාධිය කෙසේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨානයන් පුරවයිද: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ආරණ්‍යගතව හෝ රුක්මුල් ගතව හෝ හිස්ගෙයකට ගියේ හෝ පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන, සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳියි. හෙතෙම සිහියෙන් යුක්තවම ආශ්වාස කරයි, සිහියෙන් යුක්තවම ප්‍රශ්වාස කරයි... (පෙ)... පටිනිස්සග්ගානුපස්සීව ආශ්වාස කරන්නෙමියි හික්මෙයි, පටිනිස්සග්ගානුපස්සීව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
මහණෙනි, යම් සමයෙක්හි භික්ෂුව දීර්ඝව හෝ ආශ්වාස කරනුයේ දීර්ඝව ආශ්වාස කරමියි දැනගනීද, දීර්ඝව හෝ ප්‍රශ්වාස කරනුයේ දීර්ඝව ප්‍රශ්වාස කරමියි දැනගනීද, ලුහුඬුව හෝ... (පෙ)... සබ්බකායපටිසංවේදීව... (පෙ)... කායසංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. කායසංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, එකල්හි භික්ෂුව කයෙහි කය අනුව බලමින් වාසය කරයි... කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලොකයෙහි අභිධ්‍යා දෝමනස්සයන් දුරුකොට වාසය කරයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මම මේ ආශ්වාස ප්‍රශ්වාස යම් මේ කයක්ද, ඊට අන්‍යතර කයකැයි කියමි. මහණෙනි, එහෙයින් මේ කාරණයෙහි ලා භික්ෂුව එකල්හි කයෙහි කය අනුව බලමින්... වාසය කරයි.
මහණෙනි, යම් සමයෙක්හි භික්ෂුව ප්‍රීතිය විඳිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි... (පෙ)... සැප විඳිමින්... (පෙ)... චිත්තසංස්කාර විඳිමින්... (පෙ)... චිත්තසංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි, චිත්තසංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, එකල්හි භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරයි... කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලොකයෙහි අභිධ්‍යා දෝමනස්සයන් දුරුකොට වාසය කරයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මම යම් මේ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ මනා කොට මෙනෙහි කිරීමක් වේද, එය විඳීම් අතුරින් එක්තරා විඳීමකැයි කියමි. මහණෙනි, එහෙයින්... එකල්හි භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින්... වාසය කරයි.
මහණෙනි, යම් සමයෙක්හි භික්ෂුව සිත විඳිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි... (පෙ)... සිත සතුටු කරමින්... (පෙ)... සිත සමාධිගත කරමින්... (පෙ)... සිත මිදෙමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත මිදෙමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, එකල්හි භික්ෂුව සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කරයි... කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලොකයෙහි අභිධ්‍යා දෝමනස්සයන් දුරුකොට වාසය කරයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුළාවූ සිහි ඇති නුවණ නැති පුද්ගලයාට මම ආනාපානසති සමාධි භාවනාව නොකියමි. මහණෙනි, එහෙයින්... එකල්හි භික්ෂුව සිත කෙරෙහි සිත අනුව බලමින්... වාසය කරයි.