10. 1. 9.
(වේසාලී) සත්ථා‘හරණ සූත්‍රය
3757. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දේශනාකළ සේක. අසුභයෙහි ගුණ වදාළසේක. අසුභය වැඩීමෙහි ගුණ වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් විවේකව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන්න එක් භික්ෂුවක් හැර අන්කිසිවෙකු මාවෙත නොපැමිණිය යුතුයයි” වදාළේය. ඒ භික්ෂූහු එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය ගෙන යන භික්ෂුව හැර අන් කිසිවෙක් නොඑළඹෙයි.
එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දේශනා කරන සේක. අසුභයෙහි ගුණ වදාරන්නාහ. අසුභය වැඩීමෙහි ගුණ ප්‍රකාශ කරන්නාහයි නොයෙක් ආකාරයෙන් පිළිකුල්වූ අසුභ භාවනාවෙහි යෙදී වාසය කරන්නාහු වෙත්. මේ කයෙහි පිළිකුල් කරන්නාවූ කලකිරෙන්නාවූ නොකැමැත්තාවූ ඔව්හු ආයුධයෙන් ගෙල කපාගෙන මැරෙන්නාහ. එක් දිනකට දසනමක්ද කපාගනිත් විසි නමක්ද කපා ගනිත්. තිස් නමක්ද කපා ගනිත්.
එකල්හි භාග්‍යවතුන්වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූසේක. “කිමෙක්ද? ආනන්දය, භික්ෂුසංඝයා තුනීවූවාක් මෙන් පෙනේ.” “ස්වාමීනි එසේය, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් අසුභ කථා දේශනාකළ සේක. අසුභයෙහි ගුණ වදාළසේක. අසුභය වැඩීමෙහි ගුණ වදාළ සේක. ස්වාමීනි, ඒ භික්ෂූහුද භාග්‍යවතුන්වහන්සේ වනාහි නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දේශනා කරන සේක. අසුභයෙහි ගුණ වදාරණ සේක. අසුභය වැඩීමෙහි ගුණ ප්‍රකාශ කරනසේකැයි නොයෙක් අයුරින් පිළිකුල්කළාවූ අසුභයන් වැඩීමෙහි යෙදී වාසය කරන්නාහු වෙත්. මේ කයෙහි කලකිරෙන්නාවූ පිළිකුල් කරන්නාවූ නොකැමැත්තාවූ ඒ භික්ෂූහු ආයුධයෙන් ගෙල කපාගෙන මැරෙන්නාහ. දිනකට දස නමක්ද, විසි නමක්ද, තිස් නමක්ද කපා ගනිති. භික්ෂූහු ස්වාමීනි, මේ භික්ෂු සංඝයා යම්සේ දැනීමෙහි පිහිටත්ද, භාග්‍යවතුන්වහන්සේ එවැනි ක්‍රමයක් දේශනාකරන වදාරන්නේ නම් මැනව” යනුයි.
“ආනන්දය, එසේනම් යම් පමණ භික්ෂූහු විශාලා මහනුවර ඇසුරුකොට වෙසෙත්ද, ඒ සියලු භික්ෂූහු උපස්ථාන ශාලාවට රැස්කරවයි” වදාළේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන්වහන්සේට උත්තර දී යම් පමණ භික්ෂූහු විශාලාමහනුවර ඇසුරුකොට වෙසෙත්ද, ඒ සියලු භික්ෂූහු උපස්ථාන ශාලාවට රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට මෙය කීය. “ස්වාමීනි, භික්ෂු සංඝයා රැස් වූයේය. ස්වාමීනි, යමක් සඳහා භික්ෂූන් රැස්කරවීද, දැන් ඊට කාලය භාග්‍යවතුන් වහන්සේ දන්නාසේකැයි” කීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. වැඩමවා පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූසේක. “මහණෙනි, මේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්තද වෙයි. ප්‍රණීතද වෙයි. ශාන්ත වීමට පිටතින් එක්කළ යුක්තක් නැත්තේද වෙයි. සැප විහරණ ඇත්තේද වෙයි. උපනුපන් ලාමක අකුසල ධර්මයන් කරුණු අනුව අතුරුදන් කරයි. සංසිඳුවයි. “මහණෙනි, යම්සේ ඇසල මස නැගුණු රජස් (දූලි) මහත් අකල් වැස්සක් වැස අතුරුදන් කරයිද, සංසිඳුවයිද, මහණෙනි, එපරිද්දෙන්ම වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්තද වෙයි. ප්‍රණීතද වෙයි. ශාන්තවීමට පිටතින් එක්කළ යුත්තක් නැත. සැපවිහරණ ඇත්තේදවෙයි. ලාමක අකුසල ධර්මයන් සුදුසු පරිදි අතුරුදන් කරයි, සන්සිඳවයි.
මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ, කෙසේ බහුල කරන ලද්දේ ශාන්ත ද, ප්‍රණීත ද, පිටතින් එක් කළ යුත්තක් නැති (අසෙචනක) ද, සුව විහරණයක් ද වී, උපනුපන් ලාමක අකුසල ධර්මයන් සැණෙකින් අතුරුදන් කරයි ද, සන්සිඳුවයි ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය (හැරදැමීම) අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල කරන ලද්දේ ශාන්ත ද, ප්‍රණීත ද, පිටතින් එක් කළ යුත්තක් නැති ද, සුව විහරණයක් ද වෙයි; උපනුපන් ලාමක අකුසල ධර්මයන් සැණෙකින් අතුරුදන් කරයි, සන්සිඳුවයි.
10. 1. 10.
කිම්බිලපඤ්හ සූත්‍රය
3758. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිල නගරයෙහිවූ වෙළුවනයෙහි වාසය කළසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ට කථා කළසේක. “කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ, ආනාපාන සති සමාධියෙන් මහත්ඵල මහා‘නිසංස ඇත්තේ වේද?” යනුවෙනි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙමේ නිහඬ විය. භාග්‍යවතුන් වහන්සේ දෙවනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූසේක. “කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩනලද්දාවූ ආනාපාන සති සමාධියෙන් මහත්ඵල මහානිසංස ඇත්තේ වේද?” යනුවෙනි. දෙවනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන් නිහඬවිය. “භාග්‍යවතුන්වහන්සේ තුන්වෙනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ඇමතූසේක. “කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේවේද?” කියායි. ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙමේ තුන්වෙනුවත් නිහඬ විය.