10. 1. 10.
කිම්බිලපඤ්හ සූත්‍රය
3758. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිල නගරයෙහිවූ වෙළුවනයෙහි වාසය කළසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ට කථා කළසේක. “කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ, ආනාපාන සති සමාධියෙන් මහත්ඵල මහා‘නිසංස ඇත්තේ වේද?” යනුවෙනි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙමේ නිහඬ විය. භාග්‍යවතුන් වහන්සේ දෙවනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූසේක. “කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩනලද්දාවූ ආනාපාන සති සමාධියෙන් මහත්ඵල මහානිසංස ඇත්තේ වේද?” යනුවෙනි. දෙවනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන් නිහඬවිය. “භාග්‍යවතුන්වහන්සේ තුන්වෙනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ඇමතූසේක. “කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේවේද?” කියායි. ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙමේ තුන්වෙනුවත් නිහඬ විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආනාපානසති සමාධිය වදාරන සේක් නම්, එයට මේ කාලයයි. සුගතයන් වහන්ස, එයට මේ කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහුය.” “ආනන්දය, එසේ නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්දය, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ, කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ ද යත්: ආනන්දය, මේ සාසනයෙහි භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය (හැරදැමීම) අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ආනන්දය, මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල කරන ලද්දේ ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංස වෙයි.
“ආනන්දය, යම් කලෙක මහණතෙමේ දීර්ඝව ආස්වාස කරන්නේ හෝ දීර්ඝව ආස්වාස කරන්නෙමියි දැනගනීද, දීර්ඝව ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝව ප්‍රස්වාස කරන්නෙමියි දැන ගනීද, කෙටිව ආස්වාස කරන්නේ හෝ කෙටිව ආස්වාස කරන්නෙමියි දැනගනියිද කෙටිව ප්‍රස්වාස කරන්නේ හෝ කෙටිව ප්‍රස්වාස කරන්නෙමියි දැනගනියිද, සියලු ආස්වාස කය දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සියලු ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, කාය සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, කාය සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය, එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය හික්මවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි. එයට හේතුව කවරේද? ආනන්දය, යම් මේ ආස්වාස ප්රස්වාසයක් වේද, එය මම කයින් එක්තරා දෙයකැයි කියමි. ආනන්දය, එසේ හෙයින් මහණතෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණින් යුක්තවූ සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි.
“ආනන්දය, යම්කෙලක මහණතෙමේ ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, සැපය දැන ගනිමින් ආස්වාසකරන්නෙමියි හික්මෙයිද, සැපය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් දැන ගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයිද, ආනන්දය එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයි. එයට හේතුව කවරේද? ආනන්දය යම් මේ ආස්වාස ප්රස්වාසයන්ගේ යහපත්ව මෙනෙහි කිරීමක් වේද? එය මම වේදනා අතුරෙන් එක්තරා වේදනාවක්යයි කියමි. ආනන්දය එසේ හෙයින් මහණ තෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරෙයි.”