10. 1. 3.
සුද්ධික ආනාපාන සූත්‍රය
3751. සැවැත් නුවරදීය.
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ ආරණ්‍යයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය (හැරදැමීම) අනුව දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි.”
10. 1. 4.
ඵල සූත්‍රය
3752. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ ආරණ්‍යයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි, මෙසේ බහුල වශයෙන් වැඩූ කල්හි, ඵල දෙකෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය: මේ ආත්මයේදීම රහත් බව හෝ, උපාදාන ශේෂයක් ඇති කල්හි අනාගාමී බව හෝ ය.”
10. 1. 5.
දෙවන ඵල සූත්‍රය
3753. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ ආරණ්‍යයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි, මෙසේ බහුල වශයෙන් වැඩූ කල්හි ඵල සතක්, ආනිසංස සතක් කැමති විය යුතුය.”
“පළමුකොට මේ ආත්මයෙහිම රහත් වෙයි. ඉදින් පළමුකොට මේ ආත්මයෙහිම රහත් ඵලය නොලබයිද, නැවත මරණ කාලයෙහි රහත් ඵලය ලබයි. ඉදින් පළමුකොට මේ අත්බැව්හිම රහත් ඵලය අවබෝධ නොකෙරේද, ඉදින් මරණ කාලයෙහිත් රහත් ඵලය අවබෝධ නොකෙළේද, නැවත ඔරම්භා ගීය සංයෝජන පස නැතිකිරීමෙන් අන්තරා පරිනිබ්බයී නම් අනාගාමි වෙයි. උපහච්ච පරිනිබ්බායි නම් අනාගාමි වෙයි. අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. සසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. උද්ධංසොත අකනිට්ඨගාමී නම් අනාගාමි වෙයි “මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය හේතුකොට ගෙන මේ ඵල සත ආනිසංස සත කැමති විය යුතුයි.