10. 1. 4.
ඵල සූත්‍රය
3752. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ ආරණ්‍යයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි, මෙසේ බහුල වශයෙන් වැඩූ කල්හි, ඵල දෙකෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය: මේ ආත්මයේදීම රහත් බව හෝ, උපාදාන ශේෂයක් ඇති කල්හි අනාගාමී බව හෝ ය.”
10. 1. 5.
දෙවන ඵල සූත්‍රය
3753. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ ආරණ්‍යයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් වඩන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි, මෙසේ බහුල වශයෙන් වැඩූ කල්හි ඵල සතක්, ආනිසංස සතක් කැමති විය යුතුය.”
“පළමුකොට මේ ආත්මයෙහිම රහත් වෙයි. ඉදින් පළමුකොට මේ ආත්මයෙහිම රහත් ඵලය නොලබයිද, නැවත මරණ කාලයෙහි රහත් ඵලය ලබයි. ඉදින් පළමුකොට මේ අත්බැව්හිම රහත් ඵලය අවබෝධ නොකෙරේද, ඉදින් මරණ කාලයෙහිත් රහත් ඵලය අවබෝධ නොකෙළේද, නැවත ඔරම්භා ගීය සංයෝජන පස නැතිකිරීමෙන් අන්තරා පරිනිබ්බයී නම් අනාගාමි වෙයි. උපහච්ච පරිනිබ්බායි නම් අනාගාමි වෙයි. අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. සසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. උද්ධංසොත අකනිට්ඨගාමී නම් අනාගාමි වෙයි “මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය හේතුකොට ගෙන මේ ඵල සත ආනිසංස සත කැමති විය යුතුයි.
10. 1. 6.
අරිට්ඨ සූත්‍රය
3754. සැවැත් නුවරදීය.
“මහණෙනි, තෙපි අනාපාන සතිය භාවනා කරව්ද?” මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ භික්ෂු තෙමේ භාග්‍යවතුන්වහන්සේට මෙය කීය. “ස්වාමීනි, මම ආනාපාන සතිය වඩන්නෙමි” යනුයි. “අරිට්ඨ, නුඹ කෙසේ නම් ආනාපාන සතිය වඩන්නෙහිද?” “ස්වාමීනි, මාගේ අතීත කාම වස්තූන් කෙරෙහි කාමච්ඡන්දය පහවීය. මාගේ අනාගත කාම වස්තූන් කෙරෙහි කාමච්ඡන්දය පහවීය. මාගේ අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි ප්‍රතිඝ සඤ්ඤාව මනාකොට හික්මවන ලදී. ඒ මම සිහියෙන් යුක්තවම ආශ්වාස කරන්නෙමි. සිහියෙන් යුක්තවම ප්‍රශ්වාස කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ ආනාපාන සතිය වඩමි” යනුයි.
“අරිට්ඨය, මෙබඳු ආනාපානසතියක් ඇත. එය නැතැයි නොකියමි. එසේ වුවද අරිට්ඨය, යම් සේ ආනාපානසතිය විස්තර වශයෙන් සම්පූර්ණ වේ ද, එය අසව -පෙ- අරිට්ඨය, ආනාපානසතිය කෙසේ නම් විස්තර වශයෙන් සම්පූර්ණ වේ ද? අරිට්ඨය, මේ සාසනයෙහි මහණ ආරණ්‍යයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අරිට්ඨය, මෙසේ ආනාපානසතිය විස්තර වශයෙන් සම්පූර්ණ වේ.”
10. 1. 7.
කප්පින සූත්‍රය
3755. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි ආයුෂ්මත් මහාකප්පින තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක පළඟ බැඳ, කය ඍජුව තබාගෙන, සිහිය ඉදිරිපත් කොට තබාගෙන වැඩහුන්හ. පළඟ බැඳ, කය ඍජුව තබාගෙන, සිහිය ඉදිරිපත් කොට තබාගෙන නුදුරු තැනක වැඩහුන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි මේ භික්ෂුවගේ කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ දකිව් ද?” “ස්වාමීනි, අපි යම් කලෙක සංඝයා මැද වැඩහුන් හෝ හුදෙකලාව විවේකීව වැඩහුන් හෝ ඒ ආයුෂ්මතුන් දකිමු ද, එකලදු අපි ඒ ආයුෂ්මතුන්ගේ කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොදකිමු.”