1. 3. 10.
උත්තිය සූත්‍රය
30.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් උත්තිය ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, රහසිගතව විවේකීව හුන්නා වූ මාගේ සිතෙහි මෙබඳු අදහසක් පහළවිය. “භාග්‍යවතුන් වහන්සේ විසින් පඤ්චකාම ගුණයෝ වදාරණ ලදහ’ භාග්‍යවතුන් වහන්සේ විසින් කවර නම් පඤ්චකාම ගුණයක් වදාරණ ලද්දේද?”
“උත්තිය, යහපති, යහපති, උත්තිය, මා විසින් මේ කාමගුණයෝ පසක්ම වදාරණ ලදහ. කවරනම් පසක්ද? චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රියවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ රූපයෝ වෙද්ද, සෝත විඥානයෙන් දත යුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ මනවඩන්නාවූ, ප්‍රිය වූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලියයුතුවූ, ශබ්දයෝ වෙද්ද, ඝාණ විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ ගන්ධයෝ වෙද්ද, ජීව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රියවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ රසයෝ වෙද්ද, කායවිඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රියවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ ඵොට්ඨබ්බයෝ වෙද්ද, උත්තිය, මේ පඤ්චකාම ගුණයෝ මා විසින් කියන ලදහ. උත්තිය, මේ පඤ්චකාමයන්ගේ ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නම් කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. උත්තිය, මේ පඤ්චකාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
මිච්ඡත්තවග්ගො තතියො.
එහි උද්දානය:
මිච්ඡත්ත, අකුසලධම්ම, පටිපදා දෙකක් ද, අසප්පුරිස සූත්‍ර දෙකක් ද, කුම්භ, සමාධි, වෙදනා සහ උත්තිය සූත්‍රය ද වේ.
4. පටිපත්ති වර්ගය
1. 4. 1.
පටිපත්ති සූත්‍රය
31. සැවැත්නුවරදීය:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූහු ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, තොපට මිථ්‍යා ප්‍රතිපත්තියද සම්‍යක් ප්‍රතිපත්තියද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, මිථ්‍යා ප්‍රතිපත්තිය නම් කවරීද? ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය සහ මිථ්‍යා සමාධියයි. “මහණෙනි, මේ මිථ්‍යා ප්‍රතිපත්තියයි කියනු ලැබේ. මහණෙනි, සම්‍යක් ප්‍රතිපත්තිය නම් කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මෙයයි. “මහණෙනි, මේ සම්‍යක් ප්‍රතිපත්තියයි කියනු ලැබේ.
1. 4. 2.
පටිපන්න සූත්‍රය
32. (මෙතැන් සිට මේ වර්ගයේ සියලුම සූත්‍රවල 1 ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, තොපට වරදවා පිළිපදින්නාද නිවැරදිව පිළිපදින්නාද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, වරදවා පිළිපදින්නා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් මිථ්‍යා දෘෂ්ටි ඇත්තේ වෙයිද, මිථ්‍යා සංකල්පය ඇත්තේවේද, මිථ්‍යා වචනය ඇත්තේවේද, මිථ්‍යා කර්මාන්තය ඇත්තේවේද, මිථ්‍යා ආජීවය ඇත්තේවේද, මිථ්‍යා ව්‍යායාමය ඇත්තේවේද, මිථ්‍යා සතිය ඇත්තේවේද, මිථ්‍යා සමාධිය ඇත්තේවේද, මහණෙනි, මේතෙම වරදවා පිළිපදින්නාහුයයි කියනු ලැබේ. “මහණෙනි, නිවැරැදිව පිළිපදින්නා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේවේද, සම්‍යක් සංකල්පය ඇත්තේවේද, සම්‍යක් වචනය ඇත්තේවේද, සම්‍යක් කර්මාන්තය ඇත්තේවේද, සම්‍යක් ආජීවය ඇත්තේවේද, සම්‍යක් ව්‍යායාමය ඇත්තේවේද, සම්‍යක් සතිය ඇත්තේවේද, සම්‍යක් සමාධිය ඇත්තේවේද, මහණෙනි, මේතෙම නිවැරැදිව පිළිපදින්නාහුයයි කියනු ලැබේයයි” වදාළසේක.
1. 4. 3.
විරද්ධ සූත්‍රය
33.
“මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන් නොගන්නාලද්දේද? ඔහු විසින් මනාකොට දුක් කෙළවර කරන මාර්ගය පටන්නොගන්නා ලද්දේවේ. මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නා ලද්දේද? ඔහු විසින් මනාකොට දුක් කෙළවර කරන මාර්ගය පටන්ගන්නා ලද්දේවේ. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. “මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්නොගන්නා ලද්දේද? ඔවුන් විසින් මනාකොට දුක් කෙළවර කරන මාර්ගය පටන් නොගන්නා ලද්දේ වේ. මහණෙනි, යම් කිසිකෙනෙකුන් විසින් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නා ලද්දේද? ඔවුන් විසින් මනාකොට දුක් කෙළවර කරන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නාලද්දේ වේයයි වදාළසේක.
1. 4. 4.
පාරංගම සූත්‍රය
34.
“මහණෙනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්මයෝ අටදෙනෙක් සසරින් එතෙරට යාම පිණිස පවතිත්. කවරනම් ධර්ම අටක්ද? “ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණෙනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්ම අට සසරින් එතරට පැමිණීම පිණිස පවතිත්යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා අනතුරුව සුගතයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක.