1. 16. 17-32.
2. යෝග සූත්‍ර
403-418. (මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍රවල 1 වෙනි ඡේද මේ වර්ගයේ මුල් සූත්‍රයේ මෙනි.) “මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරකි. කවරනම් සතරක්ද යත්? කාම යෝගය (පඤ්චකාම ආශාව), භව යෝගය (රූපාරූපභාවයන්හි ආශාව), දිට්ඨි යෝගය (දෙසැට දෘෂ්ටි), අවිජ්ජා යෝගය (මෝහය) යනුයි. මහණෙනි, මේ වනාහි යෝග සතරයි. මහණෙනි, මේ සතර යෝගයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මේ සතර යෝගයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 16. 33-48.
3. උපාදාන සූත්‍ර
419-434. “මහණෙනි, මේ උපාදානයෝ (තදින් අල්වාගැනීම්) සතරකි. කවරනම් සතරක්ද යත්? කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන මොහුයි. මහණෙනි, මේ වනාහි උපාදාන සතරයි. මහණෙනි, මේ සතර උපාදානයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ සතර උපාදානයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 16. 49-64.
4. ගන්ථ සූත්‍ර
435-450. “මහණෙනි, මේ ග්‍රන්ථයෝ (ගැට) සතරකි. කවර නම් සතරක්ද යත්? අභිධ්‍යාකාය ග්‍රන්ථය (චුති ප්‍රතිසන්ධි වශයෙන් ගැටගසන තණ්හාව), ව්‍යාපාද කාය ග්‍රන්ථය (ද්වේෂය), සීලබ්බතපරාමාස කාය ග්‍රන්ථය (වැරදි සීලව්‍රත ගන්නා දෘෂ්ටිය), ඉදංසර්වවාභිනිවෙස කාය ග්‍රන්ථය (මෙයම සත්‍යයි ගන්නා වැරදි දෘෂ්ටිය) යන මොහුයි. මහණෙනි, මේ වනාහි ග්‍රන්ථ සතරයි. මහණෙනි, මේ ග්‍රන්ථ සතර දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ සතර ග්‍රන්ථයන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 16. 65-80.
5. අනුසය සූත්‍ර
451-466. “මහණෙනි, මේ අනුසය ධර්මයෝ සතකි. කවරනම් සතක්දයත්? කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, සහ අවිජ්ජානුසයයි. “මහණෙනි, මේ වනාහි අනුසය සතයි. මේ සප්ත අනුසය ධර්මයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මේ සප්ත අනුසය ධර්මයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 16. 81-96.
6. කාමගුණ සූත්‍ර
467-482. “මහණෙනි, මේ කාමගුණ පසකි. කවරනම් පසක්ද යත්? චක්ෂුර්විඥානයෙන් දතයුතු ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ රූපයෝ වෙත්ද? සෝත විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලියයුතුවූ ශබ්දයෝ වෙද්ද? ඝාණ විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලියයුතුවූ ගන්ධයෝ වෙද්ද? ජිව්හා විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලියයුතුවූ රසයෝ වෙද්ද, කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියස්වභාවවූ, කාමයපිණිස පවත්නාවූ, ඇලියයුතුවූ ස්පර්ශයෝ වෙද්ද, මහණෙනි, මේ වනාහි පඤ්චකාම ගුණයෝයි. මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතුයයි” වදාළසේක.