1. 1. 9.
සූක සූත්‍රය
9. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වරදවා තබන ලද (උඩුකුරු නොකොට) හැල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් හෝ ඇක්මුණේ (මඩින්නේ) අත හෝ පය හෝ සිඳින්නේය. ලේ හෝ උපදවන්නේය යන මීට හේතුවක් නැත. ඊට කාරණා කිම්ද? මහණෙනි, නණ්ඩුව වරදවා තබන ලද හෙයිනි. මහණෙනි, එමෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් වරදවා තබන ලද දැකීම, වරදවා තබන ලද මාර්ග භාවනාව කරණකොට අවිද්‍යාව සිඳියි, විද්‍යාව උපදවන්නේය යන මීට හේතු නැත්තේය. ඊට කාරණා කවරේද? දැකීම වරදවා තබන ලද හෙයිනි.
“මහණෙනි, යම්සේ මනාකොට තබන ලද හැල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් හෝ ඇක්මුණේ (මඩනා ලද්දේ) අත හෝ පය හෝ සිඳියි. ලේ හෝ උපදවයි යන මීට හේතු ඇත්තේය. ඊට කාරණා කවරේද? මහණෙනි, නණ්ඩුව මනාකොට තබන ලද බැවිනි. මහණෙනි, එමෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් මනාකොට තබනලද දෘෂ්ටිය මනාකොට තබන ලද මාර්ග භාවනාව කරණ කොට අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවන්නේය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන මීට හේතු ඇත්තේය. ඊට කාරණා කවරේද? මහණෙනි, දෘෂ්ටිය මනාව තබන ලද හෙයිනි.
“මහණෙනි, මහණතෙම මනාකොට තබන ලද දෘෂ්ටියෙන් තබන ලද මාර්ග භාවනාවෙන් කෙසේ නම් අවිද්‍යාව බිඳීද? විද්‍යාව උපදවයිද? නිවන ප්‍රත්‍යක්ෂකෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සංකල්පය වඩයි. “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් වචනය වඩයි. “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් කර්මාන්තය වඩයි. “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් ආජීවය වඩයි. “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් ව්‍යායාමය වඩයි. “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සතිය වඩයි. “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සමාධිය වඩයි. “මහණෙනි, මෙසේ මේ මහණතෙම මනාකොට තබන ලද දෘෂ්ටිය මාර්ගය භාවනාව කරණකොට අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවයි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේයයි” වදාළේය.
1. 1. 10.
නන්දිය සූත්‍රය
10. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි නන්දිය නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ නන්දිය පරිබ්‍රාජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ කෙතෙක් ධර්මයෝ නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්ද?” “නන්දිය, වඩන ලද බහුල කරන ලද ධර්ම අටක් නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර නම් අටක්ද? එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. නන්දිය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්මයෝ අටදෙන නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවරකොට ඇත්තාහු වෙත්.
“මෙසේ වදාළ කල්හි නන්දිය පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ‘යහපති, භවත් ගෞතමයන් වහන්ස යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ මා උපාසකයෙකු කොට දරන සේක්වා” යනුයි.
අවිජ්ජාවග්ගො පඨමො.
එහි සූත්‍ර නාමාවලිය:
අවිජ්ජා, උපඩ්ඪ, සාරිපුත්ත, බ්‍රාහ්මණ, කිමත්ථිය, භික්ඛු සූත්‍ර දෙක, විභඞ්ග, සූක සහ නන්දිය යන සූත්‍රයෝයි.