1. 1. 10.
නන්දිය සූත්රය
10. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි නන්දිය නම් පරිබ්රාජකතෙම භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ නන්දිය පරිබ්රාජතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ කෙතෙක් ධර්මයෝ නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්ද?” “නන්දිය, වඩන ලද බහුල කරන ලද ධර්ම අටක් නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර නම් අටක්ද? එනම් සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යන මොහුයි. නන්දිය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්මයෝ අටදෙන නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවරකොට ඇත්තාහු වෙත්.
“මෙසේ වදාළ කල්හි නන්දිය පරිබ්රාජකතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. ‘යහපති, භවත් ගෞතමයන් වහන්ස යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්රමයෙන් දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ මා උපාසකයෙකු කොට දරන සේක්වා” යනුයි.
අවිජ්ජාවග්ගො පඨමො.
එහි සූත්ර නාමාවලිය:
අවිජ්ජා, උපඩ්ඪ, සාරිපුත්ත, බ්රාහ්මණ, කිමත්ථිය, භික්ඛු සූත්ර දෙක, විභඞ්ග, සූක සහ නන්දිය යන සූත්රයෝයි.
2. විහාර වර්ගය
1. 2. 1.
විහාර සූත්රය
11. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක. “මහණෙනි, මම අඩ මසක් හුදකලාව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙණෙන එක භික්ෂුවක් හැර කිසිවෙක් නොපැමිණිය යුතුය” යනුයි. “ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය ගෙන යන එක භික්ෂුවක් හැර අන් කිසිවෙක් භාග්යවතුන් වහන්සේ කරා නොපැමිණෙයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් හුදකලා වාසයෙන් වෙන්වූයේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ප්රථමාසම්බෝධිය ඇති (බුදුවී එකුන් පනස් දින ඇතුළත) ඒ මම යම් ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙම්ද? ඒ ධර්මයන් අතුරෙන් වේදනා සංඛ්යාත එක්තරා ධර්මයක් සිහි කරමින් විසුවෙමි. ඒ මම මෙසේ දැනගතිමි. මිථ්යාදෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක වේදනාවද) දැනගතිමි. සම්යක් දෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්යා සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්යක් සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්යාවචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාවද දැනගතිමි. සම්යක් වචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්යා කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්යක් කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්යා ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්යක් ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනා ද දැන ගතිමි. මිථ්යා ව්යායාමය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්යක් ව්යායාමය නිසා උපදින (කුසලා කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්යා සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්යක් සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්යා සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්යක් සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. “ඡන්දය නිසා උපදින (අට වැදෑරුම් ලෝභ සහගත) වේදනාද දැනගතිමි. විතර්කය නිසා උපදින (ප්රථමධ්යාන) වේදනාද දැනගතිමි. සංඥාව නිසා උපදින (සවැදෑරුම් සඤ්ඤා සමාපත්ති) වේදනාද දැනගතිමි.
“ඡන්දයද නොසන්සිඳුනේ වෙයිද, විතර්කයෝද නොසන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද, ඒ නිසා උපදින (අෂ්ට ලෝභ සහගත) වේදනාද දැනගතිමි.ඡන්දය සන්සිඳුනේ වෙයිද, විතර්කයෝ නොසන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද ඒ නිසා උපදින (ප්රථමධ්යාන) වේදනාද දැනගතිමි. ඡන්දයද සන්සිඳුනේ වෙයිද, විතර්කයෝද සන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද, ඒ නිසා උපදින (දුතියජ්ඣාන) වේදනාද දැනගතිමි. ඡන්දය සන්සිඳුනේ වෙයිද, විතර්කයෝද සන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝද සන්සිඳුනේ වෙත්ද ඒ නිසා උපදින (නේවසඤ්ඤානාසඤ්ඤායතන) වේදනාද දැනගතිමි. අර්හත් ඵලයට පැමිණීම පිණිස උත්සාහ ඇත. ඊට කරුණ නොපැමිණි කල්හි ඊට හේතුවන්නාවූ (සතර මාර්ගයෙන් හා යෙදුනාවූ) වේදනාවද දැනගතිමියි වදාළේය.