1. 1. 5.
කිමත්ථිය සූත්රය
5. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළහ: “ස්වාමීනි, මේ සැවැත්නුවර අන්ය තීර්ථක පරිබ්රාජිකයෝ අපගෙන් මෙසේ විචාරත්. ‘ඇවැත්නි, කුමක් පිණිස ශ්රමණ භවත් ගෞතමයන් ළඟ බඹසර වෙසේද?’ කියායි. “ස්වාමීනි, මෙසේ විචාළකල්හි අපි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන්ට මෙසේ උත්තර දෙමු. ‘ඇවැත්නි, දුක අවබෝධ කිරීම පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය.’ කියායි. කිම? ස්වාමීනි, මෙසේ විචාලකල්හි මෙසේ උත්තරදෙනු ලබන්නාවූ අපි භාග්යවතුන් වහන්සේ විසින් කියනලද්දක් කියන්නෝ වෙමුද, භාග්යවතුන් වහන්සේට බොරුවෙන් දොස් කියන්නෝ නොවෙමුද? ධර්මය අනුව කියන්නෝ වෙමුද? කිසියම් කරුණු සහිතවූ කීමක් නින්දාකටයුතු ස්වභාවයකට නොපැමිණෙන්නේද?”
“මහණෙනි, ඒකාන්තයෙන් මෙසේ විචාළ කල්හි මෙසේ උත්තර දෙනු ලබන්නාවූ තෙපි මා විසින් කියනලද්දක් කියන්නෝද වන්නහුය. මාහට බොරුවෙන් දොස්කියන්නෝද නොවන්නහුය. ධර්මයට අනුව කියන්නෝද වන්නහුය. කරුණු සහිතවූ කිසියම් කීමක් නින්දා කටයුතු ස්වභාවයටද නොපැමිණෙන්නේය. මහණෙනි, දුක අවබෝධකිරීම පිණිසම මා කෙරෙහි බඹසර වෙසේ. මහණෙනි, ඉදින් තොපගෙන් අන්යතීර්ථක පරිබ්රාජකයෝ ‘ඇවැත්නි, මේ දුක දැනගැනීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්රතිපදාවක් ඇත්තේද?” මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසනලද්දාවූ තෙපි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයනට මෙසේ කියව්. ‘මේ දුක දැනගැනීම පිණිස මාර්ගයක් ඇත්තේය, ප්රතිපදාවක් ඇත්තේය’කියායි. මහණෙනි, ඒ දුක දැනගැනීම පිණිස පවත්නාවූ මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි. ඒ කවරහුද යත්? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය’යි. මහණෙනි, මේ මාර්ගය මේ ප්රතිපදාව මේ දුක දැනගැනීම පිණිස වේයයි වදාළහ. මහණෙනි, මෙසේ අසනලද තෙපි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන්ට මෙසේ ප්රකාශ කරව්යයි” වදාළසේක.
1. 1. 6.
භික්ඛු සූත්රය
6. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, බ්රහ්මචරියාව බ්රහ්මචරියාවයයි කියනු ලැබේ. ස්වාමීනි, බ්රහ්මචරියාව යනු කුමක්ද? බ්රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?” “මහණ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්රහ්මචරියාවයි. ඒ කවරේද? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යනුයි. මහණ යම් රාගය ක්ෂයවීමක්, ද්වේෂය ක්ෂයවීමක්, මෝහය ක්ෂයවීමක් වේද මෙය බ්රහ්මචරියාවේ කෙළවරයි.”
1. 1. 7.
දුතිය භික්ෂු සූත්රය
7. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය යනු කුමකට නමක්ද? “මහණ රාගවිනය, ද්වේෂවිනය, මෝහවිනය යන මෙය නිර්වාණ ධාතුවට නමකි. ආශ්රවයන්ගේ ක්ෂය කිරීම එයින් කියනු ලැබේ.” මෙසේ කී කල්හි, ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, අමෘතයයි අමෘතයයි කියයි. ස්වාමීනි, අමෘතය යනු කුමක්ද? අමෘතගාමී මාර්ගය කුමක්ද?” - “මහණ යම් ඒ රාගය ක්ෂය කිරීමක් වේද? ද්වේෂය ක්ෂය කිරීමක් වේද? මෝහය ක්ෂය කිරීමක් වේද? මෙය අමෘතයයි කියනු ලැබේ. මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම අමෘතගාමී මාර්ගයයි. ඒ කවරේද යත්? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධියයි” වදාළසේක.