1. 1. 6.
භික්ඛු සූත්‍රය
6. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, බ්‍රහ්මචරියාව බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ස්වාමීනි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? බ්‍රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?” “මහණ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණ යම් රාගය ක්ෂයවීමක්, ද්වේෂය ක්ෂයවීමක්, මෝහය ක්ෂයවීමක් වේද මෙය බ්‍රහ්මචරියාවේ කෙළවරයි.”
1. 1. 7.
දුතිය භික්‍ෂු සූත්‍රය
7. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය යනු කුමකට නමක්ද? “මහණ රාගවිනය, ද්වේෂවිනය, මෝහවිනය යන මෙය නිර්වාණ ධාතුවට නමකි. ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම එයින් කියනු ලැබේ.” මෙසේ කී කල්හි, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, අමෘතයයි අමෘතයයි කියයි. ස්වාමීනි, අමෘතය යනු කුමක්ද? අමෘතගාමී මාර්ගය කුමක්ද?” - “මහණ යම් ඒ රාගය ක්ෂය කිරීමක් වේද? ද්වේෂය ක්ෂය කිරීමක් වේද? මෝහය ක්ෂය කිරීමක් වේද? මෙය අමෘතයයි කියනු ලැබේ. මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම අමෘතගාමී මාර්ගයයි. ඒ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි” වදාළසේක.
1. 1. 8.
විභඞ්ග සූත්‍රය
8. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවා පිළිගන්වන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, තොපට ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය දේශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” ඒ භික්ෂූහු “එසේය. ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “මහණෙනි, ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය නම් කුමක්ද? ඒ මෙසේයි සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කවරීද යත්, මහණෙනි යම් දුක දන්නාවූ ඥානයක් වේද, දුකට හේතුව දන්නාවූ ඥානයක් වේද, දුක් නැතිකිරීම දන්නා ඥානයක් වේද දුක් නැති කිරීමට පැමිණෙන මාර්ගය දන්නා ඥානයක් වේද මහණෙනි මේ සම්‍යක් දෘෂ්ටියයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් සංකල්පය කුමක්ද? යම් නෛෂ්ක්‍රම්‍ය කල්පනාවක් වේද අව්‍යාපාද කල්පනාවක් වේද අවිහිංසා කල්පනාවක් වේද මහණෙනි මෙය සම්‍යක් සංකල්ප යයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් වචනය නම් කවරේද? මහණෙනි, යම් බොරුකීමෙන් වෙන්වීමක් වේද කේලාම් කීමෙන් වෙන් වීමක් වේද ඵරුස වචනයෙන් වෙන්වීමක් වේද හිස් වචන කීමෙන් වෙන්වීමක් වේද මහණෙනි, මෙය සම්‍යක් වචනයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් කර්මාන්තය නම් කුමක්ද? මහණෙනි, යම් ප්‍රාණඝාතයෙන් වෙන්වීමක් වේද සොරකම් කිරීමෙන් වෙන්වීමක් වේද අබ්‍රහ්මචරියාවෙන් වෙන්වීමක් වේද මහණෙනි, මෙය සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් ආජීවය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ වැරදි ජීවිකාවෙන් වෙන්ව යහපත් ජීවිකාවෙන් ජිවිකාව කෙරේද? මහණෙනි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් ව්‍යායාමය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වීර්ය කෙරෙයි. වීර්ය පටන් ගනියි. සිත ඔසවයි, උත්සාහ කෙරෙයි, උපන්නාවූ ලාමක අකුසල ධර්මයන්ගේ නැතිකිරීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කෙරෙයි. වීර්ය කෙරෙයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කෙරෙයි. නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කෙරෙයි. වීර්ය පටන් ගනියි. සිත ඔසවයි, උත්සාහ කෙරෙයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, සිහි නැතිනොවීම පිණිස, බොහෝ බව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීර්ය පටන්ගනී. සිත ඔසවයි. උත්සාහ කරයි, මහණෙනි, මේ සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.