1. 1. 1.
1. අවිජ්ජා සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, අවිද්‍යාව අහිරික අනොත්තප්පයන් සමග අකුසල ධර්මයන්ගේ උත්පත්තිය පිණිස (සමග ඉපදීම් වශයෙන් හෝ බලවත් හේතු වශයෙන් හෝ) පූර්වංගම වෙයි. මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත අඥානයාට වැරදි දෘෂ්ටිය උපදී, වැරදි දෘෂ්ටියෙන් යුත් තැනැත්තාට මිත්‍යා සංකල්පය උපදී. මිථ්‍යා සංකල්පයෙන් යුක්තවූවහුට මිථ්‍යාවචනය උපදී. මිථ්‍යා වචනයෙන් යුක්තවූවහුට මිථ්‍යා කර්මාන්තය උපදී. මිථ්‍යා කර්මාන්තයෙන් යුක්තවූවහුට මිථ්‍යා ආජීවය උපදී. මිථ්‍යා ආජීවයෙන් යුක්තවූවහුට මිථ්‍යා වායාමය උපදී. මිථ්‍යා වායාමයෙන් යුක්තවූවහුට මිථ්‍යා සතිය (සිහිය) උපදී. මිථ්‍යා සතියෙන් යුක්තවූවහුට මිථ්‍යා සමාධිය උපදී.
“මහණෙනි, විද්‍යාව වනාහි (කම්මස්සකතාඥානය) හිරි ඔත්තප්පයන් (ලජ්ජා භය) සමග කුසල ධර්මයන්ගේ උත්පත්තිය පිණිස (සහජාත උපනිශ්‍රය වශයෙන්) පූර්වංගම වෙයි. මහණෙනි, විද්‍යාසංඛ්‍යාත කම්මස්සකතා ඥානයෙන් යුක්ත නුවණැත්තාහට යහපත් දෘෂ්ටිය උපදී. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූවහුට සම්‍යක් සංකල්පය උපදී. සම්‍යක් සංකල්පයෙන් යුක්තවූවහුට සම්‍යක් වචනය උපදී. සම්‍යක් වචනයෙන් යුක්තවූවහුට සම්‍යක් කර්මාන්තය උපදී. සම්‍යක් කර්මාන්තයෙන් යුක්තවූවහුට සම්‍යක් ආජීවය උපදී. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවහුට සම්‍යක් ව්‍යායාමය උපදී. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවහුට සම්‍යක් සතිය උපදී. සම්‍යක් සතියෙන් යුක්තවූවහුට සම්‍යක් සමාධිය උපදීයයි” වදාළ සේක.
1. 1. 2.
2. උපඩ්ඪ සූත්‍රය
2. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගමෙහි වැඩ වසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, යම් ඒ කල්‍යාණ මිත්‍රයන් ඇති බවය, කල්‍යාණ මිත්‍රයන් සහායකොට ඇති බවය, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි සිත නැමී පවත්නා බවය යන මෙය මාර්ගබ්‍රහ්මචර්යාව ලැබීම පිණිස කොටසක් (බාගයක්) වෙයි” යනුයි. “ආනන්දය, එය එසේ නොවෙයි. ආනන්දය, එය එසේ නොවෙයි. “ආනන්දය, යම් ඒ කල්‍යාණ මිත්‍රයින් ඇති බවක් වේද, කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇති බවක්වේද, කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි සිත නැමී පවත්නා බවක් වේද, මුළු මාර්ග බ්‍රහ්මචර්යාවම එය නිසා පවත්නේය. “ආනන්දය, කල්‍යාණ මිත්‍රයින් ඇති, කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇති, කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇති භික්ෂුවට ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් වඩන්නේයයි කැමති විය යුතුය.
[2] “ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුතෙම (තදංගවික්ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ) නම් පඤ්චවිධ විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, (පරිච්චාග පක්ඛන්දන) වශයෙන් දෙවැදෑරුම්වූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්‍රහාණය පිණිස සම්‍යක් සමාධිය වඩයි.
[3] “ආනන්දය, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයින් ඇත්තාවූ කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇත්තාවූ කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇත්තාවූ මහණතෙම ආර්යඅෂ්ටාංගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලකොට වඩයි. ආනන්දය, මේ සියලුම ආර්ය මාර්ගය කල්‍යාණ මිත්‍රයින් ඇතිබව නිසාම, කල්‍යාණමිත්‍ර සහායත්වය නිසාම, කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇතිබව නිසාම, පවත්නාබව මේ ආකාරයෙන් දත යුතුය. ආනන්දය, කල්‍යාණ මිත්‍රවූ මා නිසා ඉපදීම ස්වභාවකොට ඇති සත්වයෝ ඉපදීමෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්වයෝ ජරාවෙන් මිදෙති.