8. 1. 3.
3. යෝධාජීව සූත්‍රය
417. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. එකල්හි යුද්ධයෙන් ජීවිකාව කරන ගාමිණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් යෝධාජීව ගාමණි තෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද"
"ගාමණිය, කම් නැත, මෙය තිබේවා මෙය මගෙන් නොඅසාවා". දෙවනුවත් “ස්වාමීනි, යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වුන ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද" "ගාමණිය, කම් නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොඅසාවා". තුන්වෙනුවත් යෝධාජීව ගාමණි තෙම "ස්වාමීනි, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන්නාවූ වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයන් නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි පෙර යුද්ධයෙන් ජීවත්වුන ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුදැයි ඇසීය.
ගාමණිය, කම් නැත, මගෙන් මෙය නොවිචාරව යන මෙය නොලබමි. එනිසා තොපට මම කියන්නෙමි. ගාමණිය යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරෙයිද වෑයම් කෙරෙයිද ඔහුගේ සිත පළමුව හීනය. (කෙසේද?) මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, වැනසෙත්වා, නොවෙත්වායි කියායි. නපුරුකොට කරන ලදී. නපුරුකොට තබන ලදී. ඒ උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයක් වේද එහි උපදී. ඉදින් වනාහි යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයේදී උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි ඔහුට මේ දෘෂ්ටිය වේද, ඒ ඔහුගේ මිථ්‍යා දෘෂ්ටියකි. ගාමණිය, මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයාට නිරය හෝ තිරිසන් අපාය හෝ දෙගතීන් අතුරෙන් එක්තරා ගතියක් කියමියි වදාළසේක.
මෙසේ වදාළ කල්හි යෝධාජීව ගාමිණි තෙම හැඬුයේය. කඳුළු හෙලුයේය. ගාමණිය මෙසේ හෙයින් මම තොපට මෙය තිබේවා මෙය මගෙන් නොඅසවයි කීයෙමි. ගාමණිය එය මම තොපගෙන් නොලැබුවෙමියි වදාළේය.
ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ වදාළ හෙයින් නොඅඬමි. එතකුදු වුවත් යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ මරත්ද, නසත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් හා එක්වීමට පැමිණේයයි පූර්ව යෝධාජීව ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් මුළා කරන ලදී. වංචා කරන ලදී. පොළඹවනලදැයි කීය.
“ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂුසංඝයාද, සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගිය උපාසකයෙකු කොට මා දරන සේක්වායි” කීයේය.
8. 1. 4.
4. හත්‍ථාරොහ සූත්‍රය
418. (මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙනි. ‘යෝධාජීව’ යන තැන් ‘හත්‍ථාරොහ’ කියා වෙනස් කරගන්න.)
8. 1. 5.
5. අස්සාරොහ සූත්‍රය
419. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසනසේක. ඉක්බිති අස්සාරොහ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අස්සාරොහ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, "ස්වාමීනි, යම් ඒ අසුන් නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි අසුන් පිට යන පූර්ව ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද?” “ගාමණිය, කම් නැත, මෙය තිබේවා, මෙය මගෙන් නොඅසව.”
දෙවනුවත් “ස්වාමීනි, යම් ඒ අසුන් නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද?” “ගාමණිය, කම් නැත මෙය තිබේවා. මෙය මගෙන් නොඅසව.” තුන්වෙනුවත් අස්සාරොහ ගාමණිතෙම, භාග්‍යවතුන් වහන්සේගෙන්, “ස්වාමීනි, යම් ඒ අසුන් පිට නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත දෙවියන් අතර උපදීයයි අසුන් පිට නැගී යුද්ධකරන පූර්ව ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහිලා කුමක් කියන්නාහුදැයි” ඇසීය.