6. 1. 8.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනසුත්තං
355. “නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියනු ලැබේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මේ සිත විය: මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට ආකිඤ්චඤ්ඤායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මෙය වදාළසේක: ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්රාහ්මණය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අප්රමාදවව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත තබව’ කියායි. “ඇවැත්නි, ඒ මම පසුව සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහය කරන ලද ශ්රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරනලද ශ්රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
6. 1. 9.
අනිමිත්තසුත්තං
356. “අනිමිත්තචිත්ත සමාධිය, අනිමිත්තචිත්ත සමාධිය (විදර්ශනා සමාධිය) යයි කියනු ලැබේ. අනිමිත්තචිත්ත සමාධිය (විදර්ශනා සමාධිය) කවරේද? ඇවැත්නි, ඒ මට මේ අදහස පහළවිය. මේ ශාසනයෙහි මහණතෙම සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් (නිත්ය සුඛ ආත්මයන්) මෙනෙහි නොකිරීමෙන් අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරයිද මේ අනිමිත්තචිත්ත සමාධියයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්තචිත්ත සමාධියට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වසන්නාවූ ඒ මට විදර්ශනාවන්හි ඇලෙන්නාවූ සිත උපදියි.
“ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත පැමිණ මෙසේ වදාළසේක: ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්රාහ්මණය, අනිමිත්තචිත්ත සමාධියෙහි ප්රමාද නොවව. අනිමිත්තචිත්ත සමාධියෙහි සිත පිහිටුව. අනිමිත්තචිත්ත සමාධියෙහි සිත එකඟ කරව. අනිමිත්ත චිත්ත සමාධියෙහි සිත තබව. “ඇවැත්නි, ඒ මම පසුව සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්තචිත්ත සමාධියට පැමිණ වාසය කෙළෙමි. “ඇවැත්නි, යමෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහත් නුවණැති බවට පැමිණියේයයි මනාකොට කියත් නම් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි මා උදෙසාම කියන්නේය.”
6. 1. 10.
සක්ක සූත්රය
357. එක් කලෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු මහසිටාණන්ගේ ආරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේ යම්සේ වනාහි බලවත් පුරුෂයෙක් හකුළනලද අතක් යම්සේ දිගහරීද, දිගහරිනලද අතක් යම්සේ හකුළාද එසේම ජේතවනයෙහි අතුරුදහන් වූයේ තව්තිසා වැසි දෙවියන් කෙරෙහි පහළවිය. එකල්හි සක්දෙව් රජතෙම පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන් සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරුන්වහන්සේ මෙය වදාළහ.
“දේවානමින්දය, බුදුන් සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ බුදුන් සරණ යාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. දේවානමින්දය, ධර්මය සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දේවානමින්දය, සංඝයා සරණ යාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්යයි” වදාළසේක.