6. 1. 4.
උපෙඛාසුත්තං
351. චතුර්ථධ්‍යානය චතුර්ථධ්‍යානයයි කියනු ලැබේ. චතුර්ථධ්‍යානය කවරේද? ඇවැත්නි ඒ මට මෙසේ සිත් විය: මේ ශාසනයෙහි මහණතෙම සුඛය පහ කිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද පළමුව සොම්නස දොම්නස දෙදෙනා දුරු කිරීමෙන් දුක්ද නැති සැපද නැති උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයිද මේ චතුර්ථධ්‍යානයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුකද නැති සැපද නැති උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට සුඛ සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් උපදිත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මට මෙසේ වදාළසේක: ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, චතුර්ථධ්‍යානයෙහි ප්‍රමාද නොවව. චතුර්ථධ්‍යානයෙහි සිත පිහිටුව. චතුර්ථධ්‍යානයෙහි සිත එකඟ කරව. චතුර්ථධ්‍යානයෙහි සිත තබව කියායි. “ඇවැත්නි. ඒ මම පසුව සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් දුක්ද නැති, සැපද නැති, උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. “ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරණලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේනම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
6. 1. 5.
ආකාසානඤ්චායතනසුත්තං
352. “ආකාසානඤ්චායතනය ආකාසානඤ්චායතනයයි කියනුලැබේ. ආකාසානඤ්චායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය: මහණෙනි, “මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මීමෙන් ද්වාරාරම්මණ ගැටීම් දුරු කිරීමෙන් නානත්ත සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයිද, මේ අකාසානඤ්චායතනයයි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම රූපසංඥා ඉක්මවීමෙන් ද්වාරාරම්මණ ගැටීම් සංඥා දුරුකිරීමෙන් නොයෙක් සංඥා මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයෙහි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, මේ විහරණයෙන් යුක්තව වසන්නාවූ මට රූප සහගතවූ සංඥා මනසිකාරයෝ පහළවෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක:‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, ආකාසානඤ්චායතනයෙහි ප්‍රමාද නොවව, ආකාසානඤ්චායතනයෙහි සිත පිහිටුව. ආකාසානඤ්චායතනයෙහි සිත එකඟ කරව. ආකාසානඤ්චායතනයෙහි සිත තබව. “ඇවැත්නි, ඒ මම පසුව සියලු ආකාරයෙන් රූපසංඥා ඉක්මීමෙන් ද්වාරාරම්මණ ගැටීම් දුරුකිරීමෙන් නානත්ත සංඥා නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි, ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
6. 1. 6.
විඤ්ඤාණඤ්චායතනසුත්තං
353. “විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනයයි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය: මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයිද, මේ විඤ්ඤාණඤ්චායතනයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට ආකාසානඤ්චායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක: මොග්ගල්ලානය, මොග්ගල්ලානය බ්‍රාහ්මණය, විඤ්ඤාණඤ්චායතනයෙහි ප්‍රමාද නොවව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත තබව. “ඇවැත්නි, ඒ මම පසුව සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෘන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”