6. 1. 2.
අවිතක්ක සූත්රය
349. “ද්විතීයධ්යානය ද්විතීයධ්යානයයි කියනු ලැබේ. ද්විතීයධ්යානය කවරේද? “ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය: මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳ වීමෙන් අධ්යාත්මයෙහි පැහැදීම් ඇති සිත හා එකඟ කරන්නාවූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති ද්විතීයධ්යානයට පැමිණ වාසය කෙරේද, මේ ද්විතීයධ්යානයයි’‘ කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් අධ්යාත්මයෙහි පැහැදීම් ඇති සිතේ එකඟ බව ඇති විතර්කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති ද්විතීයධ්යානයට පැමිණ වාසය කරමි. “මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට විතර්ක සහිතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මෙසේ වදාළසේක: “මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්රාහ්මණය, ද්විතීයධ්යානයෙහි ප්රමාද නොවව. ද්විතීයධ්යානයෙහි සිත පිහිටව. ද්විතීයධ්යානයෙහි සිත එකඟ කරව. ද්විතීයධ්යානයෙහි සිත තබව කියායි. ඇවැත්නි, පසුව ඒ මම විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් අධ්යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්ක නැති විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති ද්විතීයධ්යානයට පැමිණ වාසය කෙළෙමි. “ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
6. 1. 3.
සුඛ සූත්රය
350. “තෘතීයධ්යානය තෘතීයධ්යානයයයි කියනු ලැබේ. තෘතීයධ්යානය කවරේද? “ඇවැත්නි, ඒ මට මෙසේ සිත් විය: ‘මේ ශාසනයෙහි මහණතෙම ප්රීතියෙන් වෙන්ව උපේක්ෂාවෙන් යුක්තවූයේ වාසය කරයිද, සිහි ඇත්තේ සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ කයින් සැපය විඳියිද, යමෙකුට උපේක්ෂා සිහි ඇත්තේ සැපසේ වාසය කෙරේයයි ආර්යයෝ කියත් නම් ඒ තෘතීයධ්යානයට පැමිණ වාසය කරයිද, මේ තෘතීයධ්යානයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම ප්රීතියෙන් වෙන්වීමෙන් උපේක්ෂාවෙන් යුක්තව වාසය කරමි. සිහියෙන් හා ප්රඥාවෙන් යුක්තවූ කයින් සැපය විඳිමි. උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප සේ වාසය කෙරේයයි යමෙකුට ආර්යයෝ කියත් නම් ඒ තෘතීයධ්යානයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, ඒ විහරණයෙන් වාසය කරන්නාවූ මට ප්රීති සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළ වෙති.
ඇවැත්නි එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මාවෙත පැමිණ මෙසේ වදාළ සේක: මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්රාහ්මණය, තෘතීයධ්යානයෙහි ප්රමාද නොවව. තෘතීයධ්යානයෙහි සිත පිහිටුව. තෘතීයධ්යානයෙහි සිත එකඟ කරව. තෘතීයධ්යානයෙහි සිත තබව කියායි. “ඇවැත්නි, ඒ මම පසුව ප්රීතියෙන් වෙන්වීමෙන් උපේක්ෂාවෙන් යුක්තව වාසය කෙළෙමි. සිහියෙන් යුක්තව ප්රඥාවෙන් යුක්තව කයින් සැපයද වින්දෙමි. උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපසේ වාසය කෙරේ යයි යමෙකුට ආර්යයෝ කියත්නම් ඒ තෘතීයධ්යානයට පැමිණ වාසය කෙළෙමි. “ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරනලද ශ්රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේනම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරනලද ශ්රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
6. 1. 4.
උපෙඛාසුත්තං
351. චතුර්ථධ්යානය චතුර්ථධ්යානයයි කියනු ලැබේ. චතුර්ථධ්යානය කවරේද? ඇවැත්නි ඒ මට මෙසේ සිත් විය: මේ ශාසනයෙහි මහණතෙම සුඛය පහ කිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද පළමුව සොම්නස දොම්නස දෙදෙනා දුරු කිරීමෙන් දුක්ද නැති සැපද නැති උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කෙරෙයිද මේ චතුර්ථධ්යානයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුකද නැති සැපද නැති උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට සුඛ සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් උපදිත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මට මෙසේ වදාළසේක: ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්රාහ්මණය, චතුර්ථධ්යානයෙහි ප්රමාද නොවව. චතුර්ථධ්යානයෙහි සිත පිහිටුව. චතුර්ථධ්යානයෙහි සිත එකඟ කරව. චතුර්ථධ්යානයෙහි සිත තබව කියායි. “ඇවැත්නි. ඒ මම පසුව සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් දුක්ද නැති, සැපද නැති, උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කෙළෙමි. “ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරණලද ශ්රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේනම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරනලද ශ්රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”