6. 1. 11.
දුතිය සක්ක සූත්රය
358. එකල්හි ශක්ර දේවේන්ද්ර තෙම දේවතාවන් හය සියයක් සමඟ -පෙ- එකල්හි ශක්ර දේවේන්ද්ර තෙම දේවතාවන් හත් සියයක් සමඟ -පෙ- එකල්හි ශක්ර දේවේන්ද්ර තෙම දේවතාවන් අට සියයක් සමඟ -පෙ- ඉක්බිති සක්දෙව් රජතෙම අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක සිටියේය. එකත්පසෙක සිට සක්දෙව් රජහට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ: “දේවානමින්දය, බුදුන් සරණ යාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ බුදුන් සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දේවානමින්දය, ධර්මය සරණයාම යහපත්වේ. දේවානමින්දය, මෙසේ ධර්මය සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. දේවානමින්දය, සංඝයා සරණයාම යහපත්වේ. දේවානමින්දය, මෙසේ සංඝයා සරණ යාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්.”
“නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ බුදුන් සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය සරණයාම යහපත්වේ. නිදුකාණෙනි මොග්ගල්ලානය, මෙසේ ධර්මය සරණ යාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා සරණ යාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
6. 1. 12.
තතිය සක්ක සූත්රය
359. ඉක්බිති ශක්ර දේවෙන්ද්ර තෙම පන්සියයක් දේවතාවන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක: දේවානමින්දය, බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ඒ භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙනුත් අර්හත්ය, සම්යක් සම්බුද්ධය, අෂ්ටවිද්යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකවිදුය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි, දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්යවත්ය, කියායි. දේවානමින්දය, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවී ඒ හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
දේවානමින්දය, ධර්මයෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට වදාරණ ලදී, එහි ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා ලැබිය හැකි ඵල ඇත්තේය. එව, බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවාගත යුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහිලා දතයුතුය. දේවේන්ද්රය, මෙසේ ධර්මයෙහි අචල ශ්රද්ධාවෙන් යුක්ත වීමෙන් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්.
දේවේන්ද්රය, සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා ඍජුව පිළිපන්නේය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා ගරු බුහුමනට යෝග්යව පිළිපන්නේය. පුරුෂ යුග සතරක්වූ, පුරුෂ පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්යවතුන් වහන්සේගේ මේ ශ්රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරනලද ප්රත්යයන් පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිළියෙල කළ ප්රත්ය පිළිගැනීමට සුදුසු වූයේය. කම් ඵල අදහාදෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිළිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වන්නේය. දේවේන්ද්රය, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
දේවේන්ද්රය, කඩතොලු නොවූ, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලුටු නැති, තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණවන්තයන් විසින් පසසනලද, තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් අල්වාගනු නොලැබූ සමාධිය පිණිස පවත්නාවූ ආර්යයන් විසින් කැමතිවන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත් වේ. දේවේන්ද්රය, මෙසේ ආර්යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙලොව ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
“නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ඒ භාග්යවතුන් වහන්සේ අර්හත් නම් වනසේක, සම්යක් සම්බුද්ධය, අෂ්ටවිද්යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි, දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්යවත්යයි, කියායි ඒ භාග්යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ භාග්යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. ප්රත්යක්ෂව දැකියහැකි ගුණ ඇත්තේය. කල් නොයවා ලැබියහැකි ඵල ඇත්තේය. එව බලව යයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවා ගතයුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහිලා දතයුතුය. නුවණැත්තන් විසින් වෙනවෙනම දතයුතුයයි ධර්මයකෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ධර්මය කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝතෙම මනාව පිළිපන්නේය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා ගරුබුහුමනට යෝග්යව පිළිපන්නේය. පුරුෂයුග සතරක් වූ, පුරුෂ පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්යවතුන් වහන්සේගේ මේ ශ්රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරනලද ප්රත්යයන් පිළිගැනීමට සුදුසු වූයේය. කම් පල අදහා දෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පුණ්යක්ෂේත්රය වන්නේයයි සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලායන ස්ථවිරයන් වහන්ස, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කඩනොවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්යයන් කැමති වන්නාවූ සීලයෙන් සමන්විත වීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ආර්යයන් විසින් කැමති වන්නාවූ සීලයෙන් සමන්විතවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.