3. 1. 14.
මුට්ඨස්සති සූත්‍රය
293. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්දයත්, ශ්‍රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක්වේද, සිහි මුළාවූ තැනැත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 15.
පඤ්චවේර සූත්‍රය
294. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදී. කවර කරුණු පසකින්ද යත්, සතුන් මරන්නියක් වේද, නුදුන් දෙය ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පානය කරන්නියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදී.”
පළමුවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
මාතුගාම, පුරිස, ආවේණික, තීහිධම්ම, කෝධන, උපනාහී, ඉස්සුකී, මච්ඡරී ද, අතිචාරී, අනුරුද්ධ, දුස්සීල, අප්පස්සුත, කුසීත, මුට්ඨස්සති සහ පඤ්චවේර යයි සූත්‍ර පහළොසකි.
2. අනුරුද්ධ වර්ගය
3. 2. 1.
අනුරුද්ධ සූත්‍රය
295. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙකහුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“ස්වාමීනි, මම මිනිස් ඇස් ඉක්ම පවතින දිවැසින් මේ ලෝකයෙහි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින ස්ත්‍රිය දකිමි. ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදීදැයි”
“අනුරුද්ධය, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්දයත්, ශ්‍රද්ධා ඇත්තියක්වේද, ලැජ්ජා ඇත්තියක්වේද, භය ඇත්තියක්වේද, ක්‍රෝධ නොකරන්නියක් වේද, නුවණ ඇත්තියක් වේද, අනුරුද්ධය, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 2.
අක්කොධන සූත්‍රය
296. පඤ්චහි ඛො අනුරුද්ධ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, අක්කොධනො ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො අනුරුද්ධ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
3. 2. 3.
අනුපනාහී සූත්‍රය
297. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, බද්ධ වෛර නැත්තියක්වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”