2. 3. 9.
9. තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
277. “මහණෙනි, යම්කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව නොදනිත්ද, වේදනාවන්ගේ හටගැනීම නොදනිත්ද, වේදනා නිරෝධය නොදනිත්ද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව දනිත්ද, වේදනාවන්ගේ හටගැනීම දනිත්ද, වේදනා නිරෝධය දනිත්ද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ (විශිෂ්ට ඥානයෙන්) දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වෙසෙත්.
2. 3. 10.
10. සුද්ධිකවේදනා සූත්‍රය
278. “මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනක්ද යත් සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු ත්‍රිවිධ වේදනාවෝ වෙත්.
2. 3. 11.
11. නිරාමිස සූත්‍රය
279. “මහණෙනි, සාමිස (කෙලෙස් සහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිස (කෙලෙස් රහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) ප්‍රීතියක් ඇත්තේය. සාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) සැපයක් ඇත්තේය, සාමිස උපේක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) උපේක්‍ෂාවක් ඇත්තේය, සාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) විමොක්‍ෂයක් ඇත්තේය.
“මහණෙනි, සාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ කාම බන්‍ධන පසෙකි. කවර පහක්ද යත්, ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් සැපයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් ප්‍රීතියක් උපදීද මේ සාමිස ප්‍රීතියයි.
“මහණෙනි, නිරාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍කය සහිත විචාරය සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇතිකරන විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියයි.
“මහණෙනි, නිරාමිස ප්‍රීතියෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවහට රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ද්වේෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි යම් ප්‍රීතියක් උපදීද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතියයි.
“මහණෙනි, සාමිස සැපය කවරේද? මහණෙනි, මේ පස්කම් ගුණයෝ පස් දෙනෙකි. ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. මහණෙනි, මේ පස්කම් ගුණයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපක් සොම්නසක් උපදීද මහණෙනි, මේ සාමිස සැපයයි කියනු ලැබේ.
“මහණෙනි, නිරාමිස සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්‍කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියෙන් වෙන්ව උපේක්‍ෂා සහිතව වාසය කරයිද, සිහි ඇත්තේ නුවණ ඇත්තේ සැපයක් කයින් විඳියිද, උපේක්‍ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැප විහරණ ඇත්තෙකැයි යම් ධ්‍යානයක් පිළිබඳ ආර්‍ය්‍යයෝ කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස සැපයයි කියන ලදී.
“මහණෙනි, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපය කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ද්වේෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට යම් සැපක් සොම්නසක් උපදීද, මහණෙනි, මේ නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපයයි කියනු ලැබේ.