1. 8. 6.
අවිජ්ජා සූත්‍රය
79. එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේදැ” යි ඇසීය. “මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය” යි වදාළ සේක. “ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්දැ” යි ඇසීය. “මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ” යයි වදාළ සේක.
“ස්වාමීනි, කෙසේ දන්නා, කෙසේ දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වේ ද, විද්‍යාව උපදී ද?” “මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. රූප අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. චක්ඛුසම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. චක්ඛුසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. -පෙ-
“දිව අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. රස අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. ජිව්හාසම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. ජිව්හාසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද අනිත්‍ය වශයෙන් දන්නා, දක්නා භික්ෂුවට අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදියි. -පෙ-
“මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
1. 8. 7.
දුතිය අවිජ්ජා සූත්‍රය
80. එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේද?” “මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය” යි වදාළ සේක. “ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්ද?” “මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ”.
“ස්වාමීනි, කෙසේ දන්නා, කෙසේ දක්නා භික්ෂුවකට අවිද්‍යාව ප්‍රහීණ වේද, විද්‍යාව උපදීද?” “මහණ, මෙහි භික්ෂුව විසින් ‘සියලු (ත්‍රෛභූමක) ධර්මයෝ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) තදින් අල්වා ගැනීමට නුසුදුසුය’ යි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් භික්ෂුව විසින් ‘සියලු ධර්මයෝ තදින් අල්වා ගැනීමට නුසුදුසුය’ යි මෙසේ අසන ලද්දේ නම්, හෙතෙම සියලු ධර්මය විශේෂයෙන් දනියි. සියලු ධර්මය විශේෂයෙන් දැන, සියලු ධර්මය පිරිසිඳ දනියි. සියලු ධර්මය පිරිසිඳ දැන, සියලු (සංස්කාර) නිමිති අන් අයුරකින් (අනාත්ම වශයෙන්) දකියි. ඇස අන් අයුරකින් දකියි. රූපයන් අන් අයුරකින් දකියි. චක්ඛු විඤ්ඤාණය අන් අයුරකින් දකියි. චක්ඛු සම්ඵස්සය අන් අයුරකින් දකියි. චක්ඛු සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද අන් අයුරකින් දකියි -පෙ-
මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, මහණ, මෙසේ වනාහි දන්නාවූ, මෙසේ දක්නාවූ භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදීයයි වදාළ සේක.
1. 8. 8.
සම්බහුලභික්ඛු සූත්‍රය
81. එකල්හි බොහෝ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මෙහි අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයෝ අපගෙන් මෙසේ අසන්නාහුය. ‘ඇවැත්නි, කිනම් අර්ථයක් පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ ඒ අපි අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරමු. ‘ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය යනුයි. “ස්වාමීනි, කිමෙක්ද, මෙසේ අසන ලද්දාවූ අපි මෙසේ ප්‍රකාශ කරන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙමුද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන්නමෝ නොවෙමුද, ධර්‍මයට එකඟව ප්‍රකාශ කරමුද, කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු කරුණකට නොපැමිණේදැ” යි ඇසූහ.