1. 8. 3.
අනිච්‌ච සූත්‍රය
76. එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ” යි කීය.
“රාධය, යමක් වනාහි අනිත්‍ය ද, එහි ඔබ විසින් ආලය (ඡන්දය) දුරු කළ යුතුයි. රාධය, කුමක් අනිත්‍ය ද? රාධය, ඇස වනාහි අනිත්‍යය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. රූපයෝ අනිත්‍යයහ. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍යය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. චක්ඛුසම්ඵස්සය අනිත්‍යය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. චක්ඛුසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද අනිත්‍යය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. -පෙ-
“දිව අනිත්‍යය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. රසයෝ අනිත්‍යයහ. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍යය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. ජිව්හාසම්ඵස්සය අනිත්‍යය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. ජිව්හාසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද අනිත්‍යය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. -පෙ-
“සිත අනිත්‍යය වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි අනිත්‍යයද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.
1. 8. 4.
දුක්‌ඛ සූත්‍රය
77. “රාධය, යමක් වනාහි දුක ද, එහි ඔබ විසින් ආලය (ඡන්දය) දුරු කළ යුතුයි. රාධය, කුමක් දුක ද? රාධය, ඇස වනාහි දුකය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. රූපයෝ දුකයහ. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. චක්ඛුවිඤ්ඤාණය දුකය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. චක්ඛුසම්ඵස්සය දුකය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. චක්ඛුසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද දුකය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. -පෙ- මනෝසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද දුකය. එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි. රාධය, යමක් වනාහි දුක ද, එහි ඔබ විසින් ආලය දුරු කළ යුතුයි” යි වදාළ සේක.
1. 8. 5.
අනත්‌ත සූත්‍රය
78. එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ” යි කීය. “රාධය, යමක් වනාහි අනාත්මද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් අනාත්මද? රාධය, ඇස වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.