1. 7. 8.
උපවාණ සූත්‍රය
70. එකල්හි ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ධර්‍මය සන්‍දිට්ඨිකයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්‍මය සන්‍දිට්ඨික වේද, අකාලික වේද, එහිඵස්සික වේද, ඕපනයික වේද, නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් විසින් දත යුතු වේද?”
උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක රූපය දැනගන්නේද වෙයි, රූපරාගය දැනගන්නේද වෙයි. තමා තුළ ඇත්තාවූ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණ තෙම ඇසින් රූපය දැක රූපය දැනගන්නේද වේද, රූපරාගය දැනගන්නේද වේද, තමා තුළ ඇත්තාවූ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය සන්දිට්ඨික වේ, අකාලික වේ, ඒහිපස්සික වේ, ඕපනයික වේ, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු වේ. -පෙ-
උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ රසය දැනගන්නේද වෙයි, රසරාගය දැනගන්නේද වෙයි. තමා තුළ ඇත්තාවූ රසයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණ තෙම දිවෙන් රසය විඳ රසය දැනගන්නේද වේද, රසරාගය දැනගන්නේද වේද, තමා තුළ ඇත්තාවූ රසයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය සන්දිට්ඨික වේ, අකාලික වේ, ඒහිපස්සික වේ, ඕපනයික වේ, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු වේ. -පෙ-
උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්මය දැන ධර්මය දැනගන්නේද වෙයි, ධර්මරාගය දැනගන්නේද වෙයි. තමා තුළ ඇත්තාවූ ධර්මයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ ධර්මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණ තෙම සිතින් ධර්මය දැන ධර්මය දැනගන්නේද වේද, ධර්මරාගය දැනගන්නේද වේද, තමා තුළ ඇත්තාවූ ධර්මයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ ධර්මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය සන්දිට්ඨික වේ, අකාලික වේ, ඒහිපස්සික වේ, ඕපනයික වේ, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.
උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක රූපය දැනගන්නේම වෙයි, එහෙත් රූපරාගය දැනගන්නේ නොවෙයි. තමා තුළ නැත්තාවූ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය නැත’ යි දැනගනියි. උපවාණය, මහණ තෙම ඇසින් රූපය දැක රූපය දැනගන්නේම වේද, රූපරාගය දැනගන්නේ නොවේද, තමා තුළ නැත්තාවූ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය නැත’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය සන්දිට්ඨික වේ, අකාලික වේ, ඒහිපස්සික වේ, ඕපනයික වේ, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු වේ. -පෙ-
උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ රසය දැනගන්නේම වෙයි, එහෙත් රසරාගය දැනගන්නේ නොවෙයි. තමා තුළ නැත්තාවූ රසයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය නැත’ යි දැනගනියි. උපවාණය, මහණ තෙම දිවෙන් රසය විඳ රසය දැනගන්නේම වේද, රසරාගය දැනගන්නේ නොවේද, තමා තුළ නැත්තාවූ රසයන් කෙරෙහි ඇලෙන රාගය ‘මා තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය නැත’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය සන්දිට්ඨික වේ, අකාලික වේ, ඒහිපස්සික වේ, ඕපනයික වේ, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු වේ. -පෙ-
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්‍මයන් දැන, ධර්‍මය දන්නේ වේ. ධර්‍ම රාගය නොදන්නේ වේ. තමා තුළ නැති ධර්‍මයන් කෙරෙහිවූ රාගය, මා තුළ ධර්‍මයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම සිතින් යම් ඒ ධර්‍මයක් දැන ධර්‍ම දන්නේ වේද, ධර්‍ම රාගය නොදන්නේ වේද, තමා තුළ නැති ධර්‍මයන් කෙරෙහිවූ රාගය, මා තුළ ධර්‍මයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේයයි.” වදාළ සේක.
1. 7. 9.
පඨම ඡඵස්‌සායතන සූත්‍රය
71. “මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්‍ම විනයෙන් දුරවූවෙක්ම වන්නේය.