1. 7. 9.
පඨම ඡඵස්සායතන සූත්‍රය
71. “මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්ම විනයෙන් දුරවූවෙක්ම වන්නේය.
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි” යි කීයේය.
“මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”. “මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් ඇස, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය. “කන, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”. “මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කන, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය. “නාසය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”. “මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් නාසය, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
“දිව, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”. “මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් දිව, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය. “කය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”. “මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කය, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
“සිත, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”. “මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් සිත, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
1. 7. 10.
දුතිය ඡඵස්සායතන සූත්‍රය
72. “මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්ම විනයෙන් ඈත්වූවෙක්ම වන්නේය.”
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි” යි කීයේය.