1. 7. 7.
උපසේන සූත්රය
69. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර සීතවන නම් සොහොනෙහිවූ සප්පසොණ්ඩික නම් ලෙනෙහි වැඩ වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේගේ ශරීරයෙහි සර්පයෙක් වැටුනේය.
ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය. “ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට (විනාශ වීමට) පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්” යයි කීයේය. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් උපසේනයන්ගේ ශරීරයෙහි අන්ප්රකාරයක් හෝ ඉන්ද්රියයන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකිමු. එතකුදු වුවත් ආයුෂ්මත් උපසේන තෙම මෙසේ කියයි. “ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්” යයි කියායි.
“ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයෙනි, ‘ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ‘කන මම වෙමියි කියා හෝ, මාගේ කනය’ කියා හෝ, ‘නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ‘දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ‘කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ‘සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ කියා හෝ යන අදහස යමෙකුට ඇත්තේද, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයෙනි, ඔහුගේ ශරීරයෙහි අන්ප්රකාරයක් හෝ, ඉන්ද්රියයන්ගේ වෙනස් වීමක් හෝ වන්නේය. ආයුෂ්මත් ශාරීපුත්රයෙනි, මට වනාහි ‘ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ‘කන මම වෙමියි කියා හෝ, මාගේ කනය’ කියා හෝ, ‘නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ‘දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ‘කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ‘සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ යි යන අදහසක් නැත්තේය. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයෙනි, ඒ මාගේ සිරුරෙහි අන් ප්රකාරයක් හෝ ඉන්ද්රියයන්ගේ විපරිනාමයක් හෝ කුමක් හෙයින් වන්නේද?
එසේනම් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ බොහෝ කලක් අහංකාරය, මමායනය, (මාගේයයි සිතීම) මානය, සහ ක්ලේශයෝ හොඳින් නසන ලද්දාහු නොවෙත්ද, එහෙයින් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට, ‘ඇස මම වෙමියි හෝ, මාගේ ඇසය’ යි හෝ, ‘කන මම වෙමියි හෝ, මාගේ කනය’ යි හෝ, ‘නාසය මම වෙමියි’ හෝ, මාගේ නාසයයි’ හෝ, ‘දිව මම වෙමියි හෝ, මාගේ දිවයයි’ හෝ, ‘කය මම වෙමියි හෝ, මාගේ කයයයි’ හෝ, ‘සිත මම වෙමියි’ හෝ මාගේ සිතය’ යි හෝ මෙබඳු අදහසක් නොවේය” යි කීහ.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර ඇඳකට නංවා පිටතට ගෙන ගියාහුය. ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර බොල් මිටක් මෙන් එහිම විසුරුනේය.
1. 7. 8.
උපවාණ සූත්රය
70. එකල්හි ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ධර්මය සන්දිට්ඨිකයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්මය සන්දිට්ඨික වේද, අකාලික වේද, එහිඵස්සික වේද, ඕපනයික වේද, නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් විසින් දත යුතු වේද?”
“උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දැන ගත්තේද වෙයි. රූප රාගය දැන ගත්තේද වෙයි. අධ්යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දැනගත්තේද, යම් රූප රාගයක් දැන ගත්තේද, අධ්යාත්මය තුළ ඇත්තාවූ, රූපයන්හි ඇලෙන යම් රාගයක්, ‘මාගේ අධ්යාත්මය තුළ රූපයන්හි ඇලෙන රාගය ඇත්තේය, යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.” “උපවාණය, මෙහි මහණ තෙම කනෙන් ශබ්දය දැන, ශබ්දය දැන ගත්තේද වෙයි. ශබ්ද රාගය දැන ගන්නේද වෙයි. අධ්යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කනෙන් යම් ඒ ශබ්දයක් දැක ශබ්දය දැනගත්තේද, යම් ශබ්ද රාගයක් දැන ගන්නේද, අධ්යාත්මය තුළ ඇත්තාවූ, ශබ්දයන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්යාත්මය තුළ ශබ්දයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.” “උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්ධය දැක, ගන්ධය දැන ගත්තේද වෙයි. ගන්ධ රාගය දැන ගත්තේද වෙයි. අධ්යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්යාත්මය තුළ ගන්ධයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්ධයක් දැක ගන්ධය දැනගත්තේද, යම් ගන්ධ රාගයක් දැන ගන්නේද, අධ්යාත්මය තුළ ඇත්තාවූ, ගන්ධන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්යාත්මය තුළ ගන්ධයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රසය දන්නේ වෙයි. රස රාගය දන්නේද වෙයි. තමා තුළ ඇත්තාවූ රසයන්හි ඇලෙන රාගයද, ‘මාගේ අධ්යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවානය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් විඳ රස දන්නේද, යම් ඒ රස රාගයක් දන්නේ වේද, තමා තුළවූ රසයන්හි ඇලෙන රාගය, ‘මාගේ අධ්යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.” “උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්ශය දැක, ස්පර්ශය දැන ගන්නේද වෙයි. ස්පර්ශ රාගය දැන ගන්නේද වෙයි. අධ්යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්යාත්මය තුළ ස්පර්ශයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කයින් යම් ඒ ස්පර්ශයක් දැක ස්පර්ශය දැන ගන්නේද, යම් ස්පර්ශ රාගයක් දැන ගන්නේද, අධ්යාත්මය තුළ ඇත්තාවූ ස්පර්ශයන්හි ඇලෙන යම් රාගයක්, ‘මාගේ අධ්යාත්මය තුළ ස්පර්ශයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.”