1. 7. 6.
සමිද්ධි ලෝකපඤ්හ සූත්රය
68. “ස්වාමීනි, ‘ලෝකය, ලෝකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ වන්නේද?”
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්ධයෝ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්ශයෝ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි සිත ඇත්තේද, ධර්මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය” යි වදාළ සේක.
1. 7. 7.
උපසේන සූත්රය
69. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර සීතවන නම් සොහොනෙහිවූ සප්පසොණ්ඩික නම් ලෙනෙහි වැඩ වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේගේ ශරීරයෙහි සර්පයෙක් වැටුනේය.
ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය. “ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට (විනාශ වීමට) පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්” යයි කීයේය. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් උපසේනයන්ගේ ශරීරයෙහි අන්ප්රකාරයක් හෝ ඉන්ද්රියයන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකිමු. එතකුදු වුවත් ආයුෂ්මත් උපසේන තෙම මෙසේ කියයි. “ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්” යයි කියායි.
“ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයෙනි, ‘ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ‘කන මම වෙමියි කියා හෝ, මාගේ කනය’ කියා හෝ, ‘නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ‘දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ‘කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ‘සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ කියා හෝ යන අදහස යමෙකුට ඇත්තේද, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයෙනි, ඔහුගේ ශරීරයෙහි අන්ප්රකාරයක් හෝ, ඉන්ද්රියයන්ගේ වෙනස් වීමක් හෝ වන්නේය. ආයුෂ්මත් ශාරීපුත්රයෙනි, මට වනාහි ‘ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ‘කන මම වෙමියි කියා හෝ, මාගේ කනය’ කියා හෝ, ‘නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ‘දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ‘කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ‘සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ යි යන අදහසක් නැත්තේය. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයෙනි, ඒ මාගේ සිරුරෙහි අන් ප්රකාරයක් හෝ ඉන්ද්රියයන්ගේ විපරිනාමයක් හෝ කුමක් හෙයින් වන්නේද?